19 සම්මතයි - පක්ෂව 211 - විපක්ෂව 1යි - නොපැමිණි 10යි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධන පනත් කෙටුම්පත තෙවැනි වර කියවීම ඊයේ රාත්‍රී (28) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 211කින් සම්මත විය.

පනතට පක්ෂව ඡන්දය 212ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණි. ඒ අනුව පනත තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත විය.

පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පමණි. අජිත් කුමාර මන්ත්‍රීවරයා ඡන්දය දීමෙන් වැළකී සිටියේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනකු ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ නොසිටියහ.

ඒ දි.මු. ජයරත්න, ප්‍රභා ගනේෂන්, ප්‍රේමලාල් ජයසේකර, ජානක ප්‍රියන්ත බණ්ඩාර, පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි, කෙහෙළිය රඹුක්වැල්ල, ජගත් බාලසූරිය, බැසිල් රාජපක්ෂ, රත්නසිරි වික්‍රමනායක සහ ඒ. විනාගමුර්ති යන මන්ත්‍රීවරුය.

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනව වැනි සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීම ඊයේ (28) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 214කින් සම්මත විය.

පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමට විරුද්ධව දිගාමඬුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සරත් වීරසේකර මහතා පමණක් ඡන්දය භාවිත කළේය.
ස්වාධීන මන්ත්‍රී අජිත් කුමාර මහතා ඡන්දය දීමෙන් වැළකී සිටියේය. පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමට පක්ෂව ඡන්ද 215ක් ලැබුණි.

එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් සියලුම පක්ෂ, ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය පනතට පක්ෂව ඡන්දය භාවිත කළහ.

ඡන්දය විමසන අවස්ථාවේ මන්ත්‍රීවරුන් හත් දෙනකු සභා ගැබේ නොසිටියහ.

ප්‍රේමලාල් ජයසේකර, ජානක ප්‍රියන්ත බණ්ඩාර, ජගත් බාලසූරිය, පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි, කෙහෙළිය රඹුක්වැල්ල, බැසිල් රාජපක්ෂ හා ඒ. විනයාගමුර්ති යන මන්ත්‍රීවරු ඡන්දය විමසන අවස්ථාවේ සභා ගැබේ නොසිටියහ.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් විධායක ජනාධිපති ධුරයේ බලතල යම්තාක් දුරට සංශෝධනය විය.

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් 1978 වසරේදී විධායක ජනාධිපති ධුරය ඇති කළේය.

19 වැනි සංශෝධනය හැර මීට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන්වලදී අවස්ථා දෙකකදී හැර සෙසු සංශෝධනවලදී විධායක ජනාධිපති ධුරයේ බලතල විටින් විට තවත් පුළුල් විය.

මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ කාරක සභා අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් වගන්ති කිහිපයක් සඳහා සංශෝධන ඉදිරිපත් කළහ.

පළමුව සංශෝධනය ඉදිරිපත් කළේ වාසුදේව නානායක්කාර මහතාය. ඔහුගේ සංශෝධන අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

අනතුරුව දිනේෂ් ගුණවර්ධන මහතා ද එක් වගන්තියක් සඳහා සංශෝධන ඉදිරිපත් කළේය.

එම සංශෝධනය අධිකරණ අමාත්‍යවරයා විසින් පිළිගත් අතර එම සංශෝධනවලට යටත්ව වගන්තිය සම්මත විය.

පත් කළ මන්ත්‍රී රජීව් විජේසිංහ මහතා විසින් ජනාධිපති ධුරයේ කාල සීමාව පිළිබඳව සංශෝධනයක් ඉදිරිපත් කළ අතර ඊට අධිකරණ අමාත්‍යවරයා විරුද්ධ විය.

ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් ලෙස සිවිල් නියෝජිතයන් 10 දෙනකු ඉදිරිපත් කිරීම සඳහා නව සංශෝධනයෙන් නියමව තිබූ අතර පසුව ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හත් දෙනකු සහ සිවිල් නියෝජිතයන් තුන් දෙනකු පත් කිරීමට විපක්ෂය කළ යෝජනාවට එකඟත්වය පළ විය.

ව්‍යවස්ථාදායක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමත් විපක්ෂයේ සංශෝධන පිළිගැනීම ගැන දිනේෂ් ගුණවර්ධන මහතා රජයට සිය ස්තුතිය පළ කළේය.

ස්වාධීන කොමිෂන් සභා පාර්ලිමේන්තුවට වගකියන ලෙස වගන්තියක් එක් කළ යුතු බවට රජීව් විජේසිංහ  මහතා සහ වාසුදේව නානායක්කාර මහතා විසින් සංශෝධනයක් ඉදිරිපත් කළහ. ඒ පිළිබඳව තිස්ස විතාරණ සහ විමල් වීරවංශ මහතා ද අදහස් දැක්වූහ.

සෑම ස්වාධීන කොමිෂන් සභාවක්ම පාර්ලිමේන්තුවට වගකිව යුතුය යන සංශෝධනය ඉදිරිපත් විය යුතු බව ඩිව් ගුණසේකර මහතාද අදහස් දැක්වීය.

මීට පෙර එකඟතාවන් වූ පරිදි සංශෝධන ඉදිරියට රැගෙන යා යුතු යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

“පාර්ලිමේන්තුවට වගකිව යුතුය කියන යන වචනය දැම්මයි කියලා ස්වාධීන කොමිෂන් සභාවවලට අබමල් රේණුවක හානියක් වෙන්නේ නෑ” විමල් වීරවංශ  මහතා කීවේය.

“එක් එක් කොමිෂන් සභාව පාර්ලිමේන්තුවට වගකිව යුතු සහ උත්තර බැඳිය යුතුයි” යන වගන්තියට ඇතුළත් කර සංශෝධන සහිතව සම්මත විය. ඒ සඳහා විපක්ෂය ඡන්දයක් ඉල්ලා සිටියද අධිකරණ ඇමැතිවරයා විපක්ෂයේ සංශෝධන පිළිගැනීම නිසා අදාළ වගන්තිය සම්මත විය.

ඒ අනුව මැතිවරණ කොමිසම හැර සෙසු කොමිෂන් සභා පාර්ලිමේන්තුවට වගකිව යුතුය යන වගන්තිය ඇතුළත් කිරීමට අධිකරණ ඇමැතිවරයා කැමැත්ත පළ කිරීමෙන් පසු ඊට යටත්ව අදාළ වගන්තිය සම්මත විය.

අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව පිළිබඳව ද දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සංශෝධනයක් ඉදිරිපත් කළේය.

ජාතික ආණ්ඩුවක් සැකසීමේදී එහි අමාත්‍ය මණ්ඩලය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව, කැබිනට් නොවන හා නියෝජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව පාර්ලිමේන්තුව විසින් තීරණය කළ යුතුය. අධිකරණ අමාත්‍යවරයා සංශෝධනයක් ඉදිරිපත් කළ අතර ඊට යටත්ව එය සම්මත විය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කාලය වසර හතරකට දීර්ඝ කිරීම අවලංගු කර එම බලය ජනාධිපතිවරයා සතුව තබන ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කර තිබූ සංශෝධනය අදාළ අවස්ථාවේ ඉදිරිපත් කිරීමට මගහැරීම නිසා එය සම්මත කර ගැනීමට නොහැකි විය.

දේශපාලන පක්ෂ ඒකාධිකාරයට එරෙහිව මන්ත්‍රීවරුන්ට ශේ්‍රෂ්ඨාධිකරණය ඉදිරියට යාමට තිබෙන අවස්ථාව වෙනුවට එය මීට පෙර තිබූ ආකාරයෙන්ම තබන ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා සංශෝධනයක් ඉදිරිපත් කළේය.

ඊට අධිකරණ අමාත්‍යවරයා විරුද්ධ වූ විට දිනේෂ් ගුණවර්ධන මහතා ඡන්දයක් ඉල්ලා සිටියේය. පසුව අධිකරණ ඇමැතිවරයා එම වගන්තිය ඉල්ලා අස් කර ගත්තේය.

ඒ අනුව වගන්ති 56ක් සඳහා සංශෝධන ඉදිරිපත් විය.

පනත් කෙටුම්පත කාරක සභාවේදී සලකා බලා සංශෝධන සහිතව සම්මත වූ බව කථානායකවරයා සභාවට දැනුම් දුන්නේය. රාත්‍රී 7.45ට ආරම්භ කර පුරා පැය තුනකට අධික කාලයක් කාරක සභා අවස්ථාව පැවතියේය.

Share this