"තාත්තගෙයි පුතාගෙයි කෙරුවාවල් ගැන හරියටම දන්නේ මං..." - ගෝඨා

දෙරණට ආ ගෝඨා මර්වින්ට දෙහි කපයි
ඊයේ (16දා) දෙරණ රූපවාහිනියේ 360 වැඩසටහන හා එක්වූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වර්තමානය වන විට කාගේත් කතාබහට ලක්වන කරුණු කිහිපයක් ගැනම විමසු පැනයන්ට පිළිතුරු සපයමින් කරුණු කාරනා එකින් එක හෙළිකළා.

ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කාර සමන්ත කුමාර නොහොත් වෙළේ සුදා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේ පසුගිය රජය කාලයේදී බවත්, වර්තමාන රජය බලයට පත්වූ විට ඔහු ශ්‍රී ලංකාවට රැගෙන ආ බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ ය. එසේම තමන්ට තවමත් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ තර්ජන තිබෙන බවත්, ඇමෙරිකාවට හෝ බටහිර රටකට ගිය විට තමා විදුලි පුටුවට පවා ගෙන යා හැකි බවද ඔහු සඳහන් කළේ ය.

එසේම ඇවන්ගාඩ් සමාගම යටතේ පවත්වාගෙන ගිය පාවෙන අවි ගබඩාව යනු එක්සත් ජාතීන්ගේ සංවිධානයට පවා රුකුලක් වු සමාගමක් බවත්, එහි කිසිදු නීති විරෝධී කටයුත්තක් සිදු නොවු බවත් එම සමාගම සම්බන්ධයෙන් විශාල පැහැදිළි කිරීමක් සිදු කරමින් ඒ මහතා පැවසුවේ ය.

ඇතැමුන් චෝදනා කරන ආකාරයට බොදු බල සේනා සංවිධානය සමඟ තමාගේ කිසිදු සම්බන්ධයක් නොතිබු බවත්, තමා සහ තම සහෝදරයා වන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට මුස්ලිම් ජනතාව සමඟ විරසැක වීමට කිසිදු හේතුවක් නොතිබු බවත් හෙතෙම සඳහන් කළේය.

එසේම හිටපු ආරක්ෂක ලේකම්වරයා මිනී මෝරු ඇතිකළේදැයි දෙරණ රූපවාහිනිය අැසූ ප්‍රශ්ණයේදී ඔහු සදහන් කළේ, "මිනී මෝරු ඇති කරන්නත් දක්ෂතාවය තියෙන්න ඕන ඒක ලේසි නෑ...." (සිනාසෙමින්) යනුවෙනි.

හිටපු ඇමති මර්වින් සිල්වාට පහත් ක්‍රියා සිදු කිරීමට හැකියාවක් ඇති බව ද ඔහු එහිදී කියා සිටියා. මර්වින් සිල්වාගේ පුතාගේ කෙරුවාව තමා හොඳට දන්නා බවත් සමාජශාලාවලදී ගුටිකන තත්ත්වයක් තිබුණු බවත් ඔහු නයිට් ක්ලබ්වලදී, හමුදා නිලධාරියෙකුගෙන්, විදෙස් ජාතිකයෙකුගෙන් පවා ගුටි කෑ බවත් ගෝඨාභය පෙන්වා දුන්නේ ය.

භාරත ලක්ෂ්මන් ඝාතනය පිළිබඳ පොලිස් පරීක්ෂණ සිදු කර අධිකරණයේ නඩුවක් පවතින බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

පසුගිය රජයේ බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ට විරුද්ධව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පසුගියදා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් පැමිණිලි කළේය.

මර්වින් සිල්වා මහතා එහිදී ප්‍රකාශ කළේ මෙරට සිදු වූ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, භාරත ලක්ෂ්මන් ඝාතනය, රාගම ලොකුසීයා ඝාතනය හා සුදු වෑන් සංස්කෘතිය යන සිදුවීම්වලට අදාලව මෙම පැමිණිලි සිදු කළ බවයි.


Share this