නැවතත් ලෝක කුසලානයක්‌ දිනාගැනීමට මෙයයි හොඳම කණ්‌ඩායම

ගුරුසිංහ සිය කණ්‌ඩායම නම් කරයි

මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් පුර්ව වටයට ශ්‍රී ලංකාව පැමිණෙන බව තරගාවලිය ආරම්භයේ සිටම තමා පැවසූ බවත් ලබන 18 වැනිදා පැවැත්වෙන අර්ධ අවසන් පුර්ව තරගයේදී දකුණු අප්‍රිකාව පරාජය කිරීමට ශ්‍රී ලංකා සංයුතිය හොඳින් ගැළපිය යුතු බවත් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩක අසංක ගුරුසිංහ මෙල්බන් නුවරදී 'දිවයින' ට පැවසීය.

"මම කලින්ම කිව්වා ශ්‍රී ලංකාවට අවසන් පූර්ව තරගයට එන්න හොඳ අවස්‌ථාවක්‌ මේ තරගාවලියේ තියෙනවා කියලා. එතනින් අවසන් මහා තරගයට එන එක එදා දවසේ ක්‍රීඩා කරන හැටියට විසඳේවි. කොහොම වුණත් අපිට අර්ධ අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකාව පරාජය කරන්න වැඩි අවස්‌ථාවක්‌ තියෙනවා. මොකද අපේ ඉන්න ක්‍රීඩකයන්ට පීඩනය කියන එක හොඳින් හසුරුවන්න පුලුවන්. නමුත් දකුණු අප්‍රිකාව පීඩනයේදී අමාරුවෙ වැටෙනවා. සංගක්‌කාර, මහේල, ඩිල්ෂාන් සහ මැතිව්ස්‌ හොඳින් පීඩනයට මුහුණ දෙන ක්‍රීඩකයන්. ඒ අය අනිත් ක්‍රීඩකයන්වත් හොඳින් කළමනාකරණය කරන නිසා දකුණු අප්‍රිකාව පරාජය කරන්න අපේ අයට හැකියාව තියෙනවා." යනුවෙන් ගුරුසිංහ පවසයි.

1996 ලෝක කුසලාන දිනූ කණ්‌ඩායමෙන් පසුව ශ්‍රී ලංකාවෙන් බිහිවූ හොඳම ලෝක කුසලාන කණ්‌ඩායම මෙවර කණ්‌ඩායම බවද ගුරුසිංහ පවසයි. එහෙත් කණ්‌ඩායමේ අඩුපාඩු තිබෙන බවත් දකුණු අප්‍රිකානු කණ්‌ඩායමට එරෙහිව පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව තරගයේදී තමා තේරීම් කමිටු සභාපතිවරයා වූයේ නම් තෝරන අවසන් 11 දෙනා පිළිබඳවද ගුරුසිංහ අදහස්‌ දැක්‌වීය.

"මම හිතන්නෙ දකුණු අප්‍රිකානු තරගයට ඉදිරිපත් කරන්න ඕන හොඳම කණ්‌ඩායම තමයි අපි ස්‌කොට්‌ලන්තය සමග තරගයට ක්‍රීඩා කළේ. හැබැයි ඒ කණ්‌ඩායමට සීකුගේ වෙනුවට රංගන හේරත් පැමිණිය යුතුයි. මම තේරීම් කමිටු සභාපතිවරයා නම් මගේ කණ්‌ඩායම තමයි ඒක. චමීර දුෂ්මන්ත ඉතාමත් හොඳ වේග පන්දු යවන්නෙක්‌. හැබැයි ඔහුට අනිවාර්යයෙන් දකුණු අප්‍රිකානු තරගයේදී ස්‌ථානය දිය යුතුයි. මොකද වේග පන්දු යවන්නෙක්‌ ළඟ තිබිය යුතු පන්දු සංකලනයක්‌ මම ඒ ළමයගෙන් දැක්‌කා. හැබැයි දුෂ්මන්තට පිතිකරුවන් ලකුණු ටිකක්‌ ගහයි. නමුත් එයා හොඳ කඩුලු ටිකක්‌ කණ්‌ඩායමට අරන් දෙයි කියල මට විශ්වාසයි. ඒ නිසා දකුණු අප්‍රිකානු තරගයට තිලකරත්න ඩිල්ෂාන්, ළහිරු තිරිමාන්න, කුමාර් සංගක්‌කාර, මහේල ජයවර්ධන, ඇන්ජලෝ මැතිව්ස්‌, කුසල් පෙරේරා, තිසර පෙරේරා, රංගන හේරත්, නුවන් කුලසේකර, ලසිත් මාලිංග සහ චමීර දුෂ්මන්ත ක්‍රීඩා කළොත් කණ්‌ඩායම සමබරයි කියල මම විශ්වාස කරනවා. පන්දු රැකීම අපි තවත් දියුණු කර ගත යුතුයි. "96 ට පස්‌සෙ මම දැකපු හොඳම ලෝක කුසලාන කණ්‌ඩායම තමයි මේක." යනුවෙන් ගුරුසිංහ වැඩිදුරටත් පැවසීය.

අවුරුදු 20 ක්‌ ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින තමා කිසි විටෙකත් ඔස්ට්‍රේලියානු තණතීරු දඟ පන්දු යවන්නන්ට සහයක්‌ දෙන බවට දැක නැති බව ගුරුසිංහ පවසයි., "මම ලංකාවට ගහන කාලෙත් දැක්‌කෙ නැහැ ඔස්ට්‍රේලියානු  තණතීරු දඟ පන්දු යවන්නන්ට සහයක්‌ දෙනවා. මම මෙහෙ හිටපු අවුරුදු 20 දීත් ඒක දැකල නැහැ. ටෙස්‌ට්‌ තරගයකදි වුණත් පස්‌වැනි දවසෙ පොඩි දඟ කැවීමක්‌ ඇති වෙනවා. එකත් වේග පන්දු යවන්නන්ගේ සහ පිතිකරුවන්ගේ සපත්තුවලට තණතීරුවේ ඇති වුණ කැඩීම් නිසා. මට හිතෙන විදිහට සිඩ්නිවල තිබුණ ඔස්ට්‍රේලියානු  තරගය අපිට දිනා ගන්න තිබුණා නුවන් කුලසේකර හරි චමීර දුෂ්මන්ත හරි ක්‍රීඩා කළා නම්. මොකද මැතිව්ස්‌ට ඒ තරගයෙදී වේග පන්දු යවන්නෙක්‌ගෙ අඩුව හොඳින් දැනුනා." යනුවෙන් ගුරුසිංහ පවසයි.

අසේල විතාන ඔස්‌ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිට
දිවයින පුවත්පතින් උපුටා ගන්නා ලදී

Share this