දුවට ගොඩාක් උදව් කරේ ෆේස් බුක් මිතුරො... කීර්තිගේ ගීය අසා මියගිය තරුණිය ගැන පියා කියන කතාව

අප විසින් මින් ඉහත ඉදිරිපත් කරනු ලැබූ පුවතින් කියැවුනේ වකුගඩු බද්ධ කිරීම ලේසියෙන් කරදෙන ජාවාරම් කරුවන් පිරිසක් ගැනයි. එහෙත් ඊට පෙර පළවූ වාර්තාවකින් හෙළි කළ කීර්ති පැස්කුවල්ගේ ගීතයක් අවසන්වරට අසා සිත්සතුටු කරගෙන පසුගියදා මියගිය දිනේෂා ප‍්‍රනාන්දු නමැති තරුණිය එසේ මිය ගොස් ඇත්තේ ඇයට වකුගඩු බද්ධයක් කරන්නට අවශ්‍ය වුවත් දන්දෙන්නට කෙනෙකු නොමැතිවූ නිසා ය.

වකුගඩු ආසාදනය නිසා හටගත් ඇගේ රෝග තත්වයකන් විවිධ රෝග බවට පරිවර්තනයවී තිබුණ අතර අවසානයේ ඇගේ ශරීරයේ ප‍්‍රතිශක්තිය හීනවන තත්වයට ඇද දමා තිබුණා. එහිදී ඇය පසුගිය 15 වනදා මියගියා. දිනේෂාගේ රෝගය ගැන හා කීර්ති පැස්කුවල්ගේ ගීතයක් ඇයට අසන්නට සැලැස්වීමේ සිදුවීම පිළිබඳව ඇගේ පියා පේ‍්‍රමකුමාර ප‍්‍රනාන්දු මෙසේ පවසා සිටිනවා.

‘දිනේෂා කියන්නෙ මගේ බාල දුව.... දැනට මාස 20 ක් තිස්සෙ එයාගෙ වකුගඩු වැඩකරේ නෑ.... අපි දුවට ප‍්‍රතිකාර කර කර තමා හිටියේ.... ඒත් වකුගඩු බද්ධයට පරිත්‍යාගශීලියෙක් හොයාගන්න අපහසු වුණා.  ඒ අතරේ එයාගේ දුර්වලතාව නිසාම හෘදයේ ආසාදන ඇතිවුණා.

හෘදයේ වෑල්ව් එකක් ප‍්‍රතිස්ථානගත කරන්න අවශ්‍ය වුණා. එහෙම තියෙද් දී එයා ආඝාත තත්වයට පත් වුණා. එයා දිගටම දුර්වල වුණා. රෝගී තත්ත්වය නිව්මෝනියාවට ගියා. පසුගිය මාස කිහිපයේම එයා ලංකා හොස්පිටල් එකේ හිටියේ. එහිදී අපිට ලක්ෂ 81ක් වියදම් වුණා එයාගෙ ප‍්‍රතිකාර වලට. ගොඩක් අය උදව් කළා අපිට ඒ වියදම දරන්න.. ෆේස් බුක් එකෙන් ආපු ආධාරකරුවනුත් ගොඩාක් හිටියා.

එයාගෙ පාසලේ ලේඩීස් කොලේජ් එකේ අය, කොනස්ර්ට් එකක් තියලා ආධාර එකතු කළා. එතකොට බැංකුවකිනුත් එයාට ආධාර කළා. ඒ අය සියල්ලන් එයාගේ ජීවිතය ගොඩගන්න වෙහෙසුණා.

එයාගෙ වෙඩින් එක දවසේ අපි එයාට නොකියා එයාව පුදුම කරවන්න තමයි එයා ආසම ගායකයා කීර්ති පැස්කුවල් ගෙන්වලා සින්දු කියෙව්වෙ...

එයා ලෙඩ වෙලා අන්තිම වෙලාවෙ එයාගෙ ආසම ගායකයා වුණ කීර්ති පැස්කුවෙල් නැවත ඇවිත් එයා වෙනුවෙන් ගීත ගායනා කළා. ඒ දවසෙත් එයා හරියට සතුටු වුණා. අන්තිමට එයා අපිට නැති වුණා. එයා ටික කාලයක් හරි වැඩිපුර ජීවත් වුනේ ආධාර උපකාර කරපු හැමදෙනා නිසයි. එයාව බේරගන්න උදව් කරපු හැමටම ස්තූතියි.’


Share this