මළ මුහුද මිය යයි

ඊශ‍්‍රායලය, ජෝර්දානය සහ බටහිර ඉවුරට මාඉම්ව සැතපුම් 60ක පමණ විශාලත්වයකින් යුතුව පිහිටා තිබෙන මළ මුහුද තවත් දශක කිහිපයකින් මුළුමනින්ම සිඳී යාමේ අවදානමක් ඇති බව ඊශ‍්‍රායලයේ, භූ විද්‍යා ආයතනයේ සාගර විද්‍යා සමීක්ෂණය විසින් පෙන්වා දී තිබේ.

එම සමීක්ෂණයෙන් පෙන්වා දී ඇති පරිදි වාර්ෂිකව මළ මුහුදේ ජල මට්ටම මීටරයක් පමණ අඩු වෙමින් පවතියි.

දැනට වසර 50ක පමණ සිට මළ මුහුද ක‍්‍රමයෙන් ක්ෂය වන මට්ටමක පවතින අතර එ් අනුව මේ වන විට මළ මුහුදේ ගැඹුර මීටර් 25කින් පමණ අඩු වී ඇති බව පැවසෙයි.

මළමුහුදට ජලය සැපයෙන ප‍්‍රධාන මාර්ගය වන ජෝර්දාන ගංගාවේ ජලය විශාල වශයෙන් මානව අවශ්‍යතා සඳහා යොදා ගැනීම නිසා මළ මුහුදේ ප‍්‍රධාන මිරිදිය පෝෂක ප‍්‍රභවය සීමිත වී ඇත.

ඊට අමතරව මළ මුහුදේ ජලය බටහිර ඉවුර ප‍්‍රදේශයේ වෙනත් කර්මාන්ත සඳහා භාවිතා කිරීමද මෙහි ජල මට්ටම අඩු වීමට හේතු වී තිබේ.

මළ මුහුදේ විශේෂත්වයට හේතුව එහි ජලයේ පවතින අධික ලූණු සාන්ද්‍රණතාවයයි.

එය සාමාන්‍ය මුහුදකට වඩා අට ගුණයකින් පමණ වැඩි බව විද්‍යාඥවරු පවසති.

මළ මුහුද වෙනත් සාගරයක් හෝ මුහුදක් සමඟ සම්බන්ධ නොවීම සහ නුබියන් හා සිරියා කාන්තාරවලට මැදිව පිහිටීම නිසා අධික වාෂ්පීකරණයකින් යුක්ත වීම එයට හේතුවයි.

මළමුහුදේ පවතින අධික ලවණතාවය නිසා එහි කිසිදු ජීවියෙකුට වාසය කිරීමට නොහැක.

නොගිලී ජලය මත සිටිය හැකි මෙන්ම කිමිදීමට නොහැකි එකම මුහුදද මළ මුහුදයි.

මළ මුහුද පෘතුවියේ පහත්ම ස්ථානයක පිහිටා තිබෙන නිසා එහි ජලය පිටතට ගලා නොයන අතර ජලය අඩු වන්නේ වාෂ්ප වීමෙන් පමණි.

උෂ්ණත්වය අධික දිනවල ජලය ටොන් මිලියන 07ක් පමණ දිනකට වාෂ්ප වන බව ගණන් බලා තිබේ.

මේ හේතුව නිසා ජල පරිමාව ඉහළ යාමක් සිදු නොවන අතර ලවණ හා ඛණිජ ඉතිරි වී පවතියි. 

ජල මට්ටම පහළ යාම නිසා මළ මුහුදේ තැනින් තැන විශාල ගෝලාකාර ආවාට මතු වෙමින් පවතියි.

2013 වසරේදී සිදු කරන ලද පරීක්ෂණවලින් මළ මුහුදේ එවැනි ආවාට 3,000ක් පමණ සොයා ගෙන ඇත.

මළ මුහුද රැක ගැනීම සඳහා එයට බාහිර මාර්ගයකින් ජලය සැපයීමට යෝජනා වී ඇත.

එ් සඳහා රතු මුහුදේ සිට ඇල මාර්ගයකින් මළ මුහුදට ජලය ගෙන එ්මට යෝජනා කර ඇතත් ලොව පුරා පරිසරවේදීන් එයට විරෝධය දක්වති.




Share this