Despite the talk of resentment sobadahamē Senehasaka

නායයෑම් වලින් අවතැන් වූ යුවළක් අතිනත ගනිති
විවාහ මංගල්‍යය අවතැන් කඳවුර තුළම

නොකඩවා ඇදහැලු‍ණු මහ වැසි නිසා නායයෑම්වලින් සිය වාසස්ථාන අහිමිව ගම්‍පොළ, අම්බුළුවාව ධර්මාශ්‍රම විහාරයේ අවතැන්ව සිටින පිරිවෙනේ ද්‍රවිඩ තරුණ යුවළක් පසුගියදා විවාහ ගිවිස ගත්හ.

මෙලෙස විවාහ ගිවිස ගැනීම සිදුවුණේ අම්බුළුවාව වත්තේකඬේ ප්‍රදේශයේ පදිංචිව සිටි සෙල්ව තරංජි නම් තරුණිය සහ චන්ද්‍රබෝස් නම් යුවළ අතරය.

අම්බුළුවාව, වත්තේකඩේ ගම්මානයේ සිදුවූ නායයෑමත් සමග පවුල් 20කට අයත් 77 දෙනකු සමග මෙම විවාහ මංගල්‍යය අවතැන් කඳවුර තුළම ඉතාමත් අපූරුවට සිදු කෙරිණි.

ගම්‍පොළ, අම්බුළුවාව ධර්මාශ්‍රම විහාරයේ පැවැති අවතැන් කඳවුර තුළ සිදුවූ මෙම විවාහ මංගල්‍යය රජයේ උසස් නිලධාරීන්ගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ සහභාගිත්වයෙන් පැවැත්වීමද විශේෂ විය.

මෙම විවාහ ගිවිස ගැනීම සිදු කෙරුණේ ගම්‍පොළ උඩ පළාත ප්‍රාදේශීය ‍ලේකම් ඉන්දික අනුරුද්ධ පියදාස මහතා හා වසමේ ග්‍රාම නිලධාරී ප්‍රසන්න ගොඩමුන්න සාක්ෂි සටහනෙනි.

අවතැන්වූවන් තවත් පීඩාවට පත් නොකර ගම්‍පොළ උඩ පළාත විවාහ රෙජිස්ට්‍රාර් එස්.ඩබ්ලිව්.එන්.පී. කාන්ති අබේරත්න මහත්මිය මොවුන්ගේ විවාහය ලියාපදිංචිය සඳහා කඳවුර වෙත පැමිණ සිටියාය. මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලු‍ත්ගමගේ මහතා ඇතුළු ප්‍රභූහු රැසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

සිංහල හා දමිළ පවුල් රැසක් සිටින මෙම අවතැන් කඳවුරේ හින්දු සිරිත් විරිත්වලට අනුව දෙමළ යුවළක් විවාහ දිවියට පත්වූ අතර ධර්මාශ්‍රම විහාරාධිපති උනන්විටියේ ශාන්ත භද්‍ර නාහිමි මෙම කටයුතු සඳහා අනුශාසකත්වය ලබාදුන්හ.

මෙම කඳවුරේ සිටින අයගේ ජීවිතයද තරමක් වෙනස්ය. දිවයින පුරා ඇති අනෙකුත් අවතැන් කඳවුරුවල අය ස්වභාවික විපත්වලට ගොදුරුව එසේ සිටියද ගම්‍පොළ කඳවුරේ අය සිටින්නේ වගකිවයුත්තන් විසින් කරන ලද ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙසය.

ගම්‍පොළ නගර සභාව විසින් කසළ බැහැර කරනු ලැබුවේ අම්බුළුවාව කඳු මුදුනේය. පරිසරය විනාශ වන්නා සේම කන්ද පහළ පදිංචි වූවන් දැඩි පීඩාවට පත්වීම නිසා මොවුන් මෙම කසළ දැමීමට විරුද්ධව කටයුතු කළහ. වසර 5ක් පුරා බලධාරීන්ට කොතරම් කරුණු කීවද ප්‍රතිඵලයක් නොමැති තැන ඔවුහු විරෝධතාවක් හා උපවාසයක් ආරම්භ කළහ.

ඒ අතර මැයි මස 17 දින රටපුරා ඇතිවූ නායයෑම් සමග අම්බුළුවාව කුණු කන්ද ද කිලෝමීටරයක් පමණ පහළට නාය ගියේ පහළ තිබූ නිවාසද කසළවලින් වසා ගනිමිණි.

අම්බුළුවාව වත්තකඬේ ප්‍රදේශයේ පදිංචි සෙල්වතරංජිගේ විවාහය නියමිතව තිබුණේ 19 වැනිදාය. නමුත් ඔවුනට සිදුවූයේ 18 දින අවතැන් කඳවුරට යෑමටය.

තැල්ල සහ මුදු මෙන්ම අවශ්‍ය ඇඳුම්ද සකසා තිබුණද ඔවුන්ට අවතැන් කඳවුරක ජීවිතයේ වැදගත්ම දිනය සැමරීමට සිදුවිය. මොවුන්ගේ සංස්කෘතියට අනුව තැල්ල සකසා දින ගණන් තැබිම නුසුදුසුය. එම නිසා ඇගේ පෙම්වතා වන චන්ද්‍රබෝස්ගේ කැමැත්ත අනුව මෙසේ කඳවුර තුළම විවාහය සිදු කෙරිණි.

විවාහයෙන් පසුද මොවුන්ට විසීමට සිදුවූයේ කඳවුර තුළමය. මේ නිසා මෙම නව යුවළ අහිංසක ඉල්ලීමක්ද කළහ. ඒ සෑම දිනම කඳවුරේ සිටීමට නොහැකි නිසා කුඩා ඉඩම් කැබැල්ලක් ලබාදෙන ලෙසය.

පී.ඒ.රාජනායක-ගම්‍පොළ

Share this