මහින්දගේ පිළුණු සුප් එකට වඩා යහ පාලන කැඳ හැලිය හොදයි

මහින්ද රාජපක්ෂගේ පිළුණු වූ සුප් හැලියට වඩා මෛත්‍රී රනිල් කැඳහැළිය හොඳ යැයි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සිරස රූපවාහිනියේ සටන වැඩසටහනේ දී ප්‍රකාශ කළේය.

ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසුවේ කැඳ බෙහෙවින් ගුණදායක ඖෂධීය පානයක් බවයි.

‘කැඳ කොච්චර හොඳද? මහින්දගේ පිළිණු වූ සුප් බොනවට වඩා කැඳ බීම බොහොම හොඳයි.‘ යනුවෙන් ඔහු කීවේය.

බොදු බල සේනාවේ ගලබඩඅත්තේ ඥාණසාර හිමියන් ගැන සිංහල උපමාවකින් පිළිතුරු දුන් ෆීල්ඩ් මාෂල්වරයා කියා සිටියේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බවට ඒ හිමියන් කළ ප්‍රකාශය පිළිතුරු දීමට තරම්වත් නොතරම් දෙයක් බවයි.

‘ඒ හමුදුරුවන් කළ යුත්තේ බෝධියක් යටට ගොස් බණ භාවනා ටිකක් කර ගැනීමයි.‘

යුද සමයේ උතුරේ කොටි බැංකුවෙන් අත්අඩංගුවට ගත් රන් කිලෝ 220ක් ලේඛණ ගත කර යුද හමුදාවෙන් රජයට බාර දුන් බවත් එහෙත් දැනට රටේ ද නැති හිටපු ඇමැතිවරයකු කියා ඇත්තේ රන් කිලෝ 110ක් රජයේ ඇති බවත් කීවේය.

‘මේ ගැන රජය සොයා බැලිය යුතුයි. ඒ ගැන පැමිණිල්ලක් ඕනෑ නම් මටත් කළ හැකියි.‘

ගිය රජයේ වංචා දූෂණ හොර මැරකම් ගැන පරීක්ෂණ සිදුවන ආකාරය ගැන ඔහු නොසතුටු පළ කළේය. ඒවා කඩිනම් විය යුතු බව ඔහු කීවේය.

‘මට තියෙන ප්‍රශ්නෙත් මේ හොරුන් ගැන රජය ඉක්මණින් ක්‍රියා නොකිරීමයි. ඇතැම් නිලධරයන්ගේ උදාසීනත්වය ඊට හේතුවයි.‘

තම මන්ත්‍රී පදවිය සම්බන්ධයෙන් පැනවූ නඩුවේ දී නීතිපති ක්‍රියා කළ ආකාරය ගැන ඔහු සිය අප්‍රසාදය පළ කළේය.

Share this