ඔළුවට පිස්‌තෝල තියා මරනවා කිව්වත් බලපෑම්වලට මං බය නෑ; මා රාජකාරිය අකුරට ඉෂ්ඨ කරනවා

- ඥානසාර හිමිගේ ඇප අයැදුම්පත ප්‍රතික්‍ෂේප කරමින් හෝමාගම මහෙස්‌ත්‍රාත් කියයි

හෝමාගම අධිකරණය මගේ අධිකරණය. ඒ අධිකරණයට බලපෑම් කරන්න කිසි කෙනකුට බැහැ. ඔළුවට පිස්‌තෝල තියලා මා මරා දමනවා කීවත් බලපෑම්වලට මා බය කරන්න බැහැ. මම මගේ රාජකාරිය අකුරට ඉෂ්ඨ කරනවා යෑයි හෝමාගම මහෙස්‌ත්‍රාත් රංග දිසානායක මහතා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ඇප අයෑදුම්පත ප්‍රතික්‍ෂේප කරමින් 28 වැනිදා කියා සිටියේය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත බන්ධනාගාරගත කර සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප ලබා ගැනීම සඳහා නීතිඥ ශාන්ත වර්ණකුලසූරිය මහතා ඇතුළු නීතිඥයන් පිරිසක්‌ විසින් ඊයේ ඉදිරිපත් කළ ඇප අයදුදුම්පත ප්‍රතික්‍ෂේප කරමින් මහෙස්‌ත්‍රාත්වරයා මේ බව කීය.

ඇප අයැදුම්පත ඉදිරිපත් කිරීමට පැමිණි නීතිඥයන්ට සහ බොදුබල සේනා සංවිධානයට සම්බන්ධ පිරිසට තදින් අවවාද කළ මහෙස්‌ත්‍රාත්වරයා මෙසේද කියා සිටියේය.

අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණ කරලා බය කරලා, බලපෑමක්‌ කරන්න උත්සාහ කළත් මම ඒ දේවල්වලට බය නැහැ. එහෙම බය කරලා මගෙන් තීන්දු ගන්න හදන්න එපා. 

එහෙම නම් මාව මේ අධිකරණයෙන් යවන්න ඕනේ. නැත්නම් මම අධිකරණයෙන් යන්න ඕනේ.

එක්‌නැලිගොඩ නඩුව විභාග කරන්න මම ඉදිරිපත් වුණේ ප්‍රථම වතාවට .පළමු දවසේම මම සී.අයි.ඩී එකට කිව්වා මේ පරීක්‍ෂණයේ තියෙන දුර්වලකම් ගැන රජයේ නීතිඥ දිලීප පීරිස්‌ට කිව්වා එක්‌නැලිගොඩ ඝාතනය කළා නම් බොඩියත් හොයා ගන්න ඕනේ. ඒ බව ඔප්පු කරන්න මීළඟ නඩු දිනේදී සාක්‍ෂි ඉදිරිපත් කරන්න කිව්වා.

එක්‌නැලිගොඩ නඩුවේ විත්ති පාර්ශ්වයට අගතියක්‌ වෙලා නම් ඒ ගැන හොයාබලා ඔවුන්ට ඇප ලබා දෙන්න කටයුතු කරනවා. ඒත් මේ විදිහට බලපෑම් කරලා මාව බය කරලා තීන්දු ගන්න උත්සාහ කරන්න එපා යෑයි ද හෝමාගම මහෙස්‌ත්‍රාත්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙහිදී ඇප අයැදුම ප්‍රතික්‍ෂේප කරමින් මහෙස්‌ත්‍රාත්වරයා මෙසේද කීය.

ප්‍රගීත් එක්‌නැලිගොඩ නඩු විභාගය මාස 5 ක්‌ පුරා මේ අධිකරණයේ විභාග වෙනවා. දැනට අත්අඩංගුවේ පසුවන සැකකරුවන් කුමන පදනමකින් රඳවා ගන්නවාද යන්න ප්‍රශ්නයක්‌. ඒ අනුව තමයි මම මේ නඩුවේ පැමිණිලිකාර පාර්ශ්වයෙන් ඇසුවේ ප්‍රගීත් එක්‌නැලිගොඩ මරලාද, මැරිලාද අතුරුදන්වෙලා ද යන්න මට නිශ්චිතව පවසන්න කියා. මමත් කැමති නෑ නිවැරැද්දේ කෙනෙක්‌ සිරගතව සිටිනවාට. එවන් අවස්‌ථාවක මගේ බල සීමාව ඉක්‌මවා යන්න මට බැහැ. එවන් අවස්‌ථාවට මෙවන් අය අධිකරණයට බලපෑම් කරනවා නම් ඒ ගැනත් විමසා බලන්න සිතෙනවා.

මගේ සේවාදායකයා උසාවියට අපහාස කරන්න උත්සාහ කළේ නෑ. පැවැති තත්ත්වය අනුව ප්‍රගීත් එක්‌නැලිගොඩ නඩුවේ සැකකරුවන් වෙනුවෙන් උපන් දයාව, කරුණාව මතයි මේ සිදුවීම වුණේ. ඕනෑම ඇප කොන්දේසියක්‌ යටතේ ඇප ලබා දෙන්න" යෑයි නීතිඥ ශාන්ත වර්ණකුලසූරිය මහතා ඉල්ලා සිටියේය.

"මාත් එක්‌ක 26 ක්‌ ඇවිත් ඉන්නවා. අපිවත් හිරේ දාන්න කියලයි මේ ඇප ඉල්ලන සැකකරු උසාවියට ඇවිත් කීවේ. එහෙම නම් දැන් ඇප ඉල්ලන්න අවශ්‍ය නෑ." යෑයි හෝමාගම නීතිඥ මණ්‌ඩලය වෙනුවෙන් ඇප ලබා දීමට විරුද්ධව අදහස්‌ දක්‌වමින් නීතිඥ සුගත් වික්‍රමරත්න මහතා කීය.

Share this