උදයන්තිගේ ආදායම් බදු සොයන්න CID යට අවසර

- පුද්ගලයන් 16 දෙනකුගේ ප‍්‍රකාශ සටහන් කරගනී

හෙරොයින් ජාවාරමෙන් රුපියල් කෝටි ගණනක මුදල් සහ දේපළ උපයා ගැනීම සම්බන්ධයෙන් ගම්පොළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා ඇතුළු විත්තිකරුවන් 8 දෙනකු පිළිබඳ සිදු කළ විශේෂ විමර්ශනයේදී හඳුනාගෙන ඇති ජනප‍්‍රිය ටෙලිනාට්‍ය සහ චිත‍්‍රපට නිළි උදයන්ති කුලතුංග මෙනවිය ඇතුළු 20 දෙනකුගේ ආදායම් බදු වාර්තා පරීක්ෂා කිරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා රහස් පොලිසියට පසුගිය 30වනදා අවසර ලබා දුන්නේය.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ පොලිස්පතිවරයාගේ නියෝග පරිදි සිදු කරන ලද මේ විමර්ශනයේ ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් රහස් පොලිසිය කළ ඉල්ලීමකට ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා එලෙස අවසර ලබා දුන්නේය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රහස් පොලිසියේ නිලධාරීන් කරුණු ඉදිරිපත් කරමින් මේ සිද්ධියට අදාළ තවත් පුද්ගලයන් 16 දෙනකුගේ ප‍්‍රකාශ සටහන් කරගත් බව අධිකරණයට දන්වා සිටියේය.

මේ විමර්ශනයට අදාළව දැනට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති සැකකරුවන් හා විමර්ශනයේදී හඳුනාගෙන ඇති පුද්ගලයන් 20 දෙනකු ආදායම් බදු ගෙවීමක් සිදු කර තිබේද යන්න සම්බන්ධයෙන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කර ඊට අදාළ ලේඛන භාර ගැනීම සඳහා ප‍්‍රකාශ සටහන් කිරීමට අවශ්‍යව ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

එම ලේඛන ලබා ගැනීම සඳහා දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙත නියෝගයක් කරන මෙන් රහස් පොලිසිය ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා එම පුද්ගලයන්ගේ ආදායම් බදු වාර්තාවලට අදාළ ලේඛන රහස් පොලිසිය වෙත ලබාදෙන ලෙස දේශීය ආදායම් කොමසාරිස්වරයාට නියම කෙළේය.

Share this