සුරේෂ් රයිනා - ප්‍රියංකා චෞද්රි විවාහ මංගල්‍යය හෙට

ඉන්දීය සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩක සුරේෂ් රයිනා හෙට යුගදිවියට එළඹෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ පූර්ව මංගල චාරිත‍්‍ර සඳහා සුරේෂ් රයිනා අද එක්ව සිටි බවයි. 28 වන වියේ පසුවන ඔහුගේ අත ගන්නා මනාලිය වන්නේ ප‍්‍රියංකා චෞද්රියි. ඇය නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර පෞද්ගලික බැංකුවක තොරතුරු තාක්ෂණයට අදාළ රැුකියාවක නිරත වනවා. 

ඇය සුරේෂ් රයිනාගේ කුඩා කල සිට මිතුරිය ද වන බව ඉන්දීය මාධ්‍යයන් හි සඳහන්. හෙට දිනයේ පැවැත්වෙන රයිනාගේ විවාහ මංගල උත්සවය සඳහා ලෝකප‍්‍රකට ක‍්‍රීඩකයින් , කලාකරුවන් මෙන්ම දේශපාලනඥයින් ද සහභාගි වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. කෙසේවෙතත් විවාහ ගිවිස ගැනීමේ උත්සවය පවුලේ හිතවතුන්ට පමණක් සීමා වන බවද එහි වැඩිදුරටත් සඳහන්.

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතාට සහ උත්තර් ප‍්‍රදේශ මහ ඇමැතිවරයා කරන ලද ආරාධනාව මේ වන විට පිළිගෙන ඇති බවත් ඔවුන් දෙදෙනා හෙට දිනයේ මංගල උත්සවයට සහභාගි වන බව ස්ථිර කර ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා. එසේම මෙම මංගල උත්සවය පැවැත්වෙන දිල්ලියේ ලීලා පැලැස් හෝටලය වෙත විරාට් කෝලි සමග ඔහුගේ පෙම්වතිය වන අනුෂ්කා ශර්මාද පැමිණෙන බවයි වාර්තා වන්නේ.

සුරේෂ් රයිනාගේ මවගේ ළඟම හිතවතියක වන තැනැත්තියකගේ දියණියක් වන ප්‍රියංකා චෞද්රි මේ වන විට නෙදර්ලන්තයේ සේවය කරමින් සිටිනවා. රයිනා සහ ප්‍රියංකා කුඩා කළ සිටම මිතුරන් වුවත් පසුකාලයේදී ප්‍රියංකාගේ පවුලේ අය පංජාබ් වෙත සංක්‍රමණය වීමත් සමග ඔවුන් දෙදෙනා අතර තිබූ සබඳතාව තරමක්දුරට ගිලී ගොස් තිබුණු නමුදු ඔවුන් දෙදෙනාගේ ආදරය ගිලී නොගිය බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ. ඒ අනුව මීට වසරකට පමණ පෙර දෙදෙනාගේ දෙමාපියන් එක්ව නැවතත් සබඳතාව අලුත්කර තිබෙනවා.

රයිනාගේ පාර්ශවයෙන් මේ වන විටත් විවාහ ඇරයුම්පත් බෙදාහැරීම ආරම්භ කර තිබෙනවා.


Share this