මෛත්‍රීට, චන්ද්‍රිකා සහ ෆොන්සේකාට මරණ තර්ජන [වීඩියෝ සහිතයි]

ජීවිත පරිත්‍යාගයෙන් ආරම්භ කළ සටන කිසිසේත් අත් නොහරින බව විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත‍‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. පොළොන්නරුව බකමූණ නගරයේ පැවති ජනහමුවකට සහභාගි වෙමින් ඒ මහතා කියා සිටියේ ඉදිරි දින කිහිපය තුළදී ජීවිත තර්ජන එල්ල විය හැකි බවට අනතුරු ඇඟවීම් ලැබී ඇති බවයි.

මම බොහෝම පැහැදිළිවම කියනවා... මේවා සෙල්ලමකට ගන්න එපා... අපි ජීවිත පරිත්‍යාගයෙන් මේ සටන කරන්නේ... ඉදිරි දින කිහිපය මගේත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේත්, සරත් ෆොන්සේකා මහතාගේත් ජීවිත පිළිබඳ බරපතල අවදානමක් තිබෙනවා.

අද අපේ ජීවිතවලට තර්ජනයක් එල්ල වෙලා තිබෙනවා. අපිට වාර්තා වෙනවා ඉදිරි දින කිහිපය තුළ අපේ ජීවිත පරිස්සම් කර ගන්න කියලා. නමුත් අපි ජීවිත ආශාව අත්හැරලා මෙතැනට ඇවිත් තියෙන්නේ... නමුත් ජනතාව ඉදිරියේ මම කියනවා අපි ඒවාට මුහුණදීලා පස්සට යන්නේ නැහැ... මේ මැතිවරණ ව්‍යාපාරය අපි කරගෙන යනවා.

කිසියම් පාර්ශ්වයක් ප‍‍්‍රචණ්ඩත්වයෙන් මැතිවරණය ජයග‍‍්‍රහණය කිරීමට උත්සහා දරන්නේ නම් ඊට ජනතාව විසින් නිවැරදි තීන්දුවක් ලබාදෙනු ඇති බවද මෛත‍‍්‍රීපාල සිරිසේන මහතා මෙහිදී කියා සිටියා.

අපේ මළ කඳන් මතින් ප‍‍්‍රචණ්ඩත්වයෙන් දිනන්න ලැහැස්ති වෙනවා නම් ඒක කිසි දවසක සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි අපිව මරලා දාලා ජයග‍‍්‍රහණයක් ගන්න පුළුවන් නම් අපේ මරණය මතින් ඒක මේ රටේ ඉතිහාසයේ සටහන් වේවි... ඒක අදට විසෙක්‍ෂන ප‍‍්‍රශ්නයක් නොවෙන්න පුළුවන්... ඒක අවුරුදු සියයකින් හරි විසඳේවි... අපි ඒ ප‍‍්‍රශ්නය ජනතාවට භාර කරනවා.

එම සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න...




Source - Nethfm.com

Share this