ජපනාට වංචා කළැයි රේස් ශූර ඩිලන්ත මාලගමුවට නඩු

සුපිරි නිවාස සංකීර්ණයක් සෑදීම සඳහා ජපන් ජාතිකයකුගෙන් ඇමෙරිකන් ඩොලර් ලක්ෂ 6ක මුදලක් ලබාගෙන වංචා කිරීම සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධ මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව අධි චෝදනා 04ක් යටතේ නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (14දා) නඩු පවරනු ලැබුවා.

2008 පෙබරවාරි 01 වැනිදා සහ මාර්තු 03 අතර කාලයේදී කොළඹදී සුපිරි නිවාස සංකීර්ණයක් සෑදීම සඳහා ඇමෙරිකන් ඩොලර් ලක්ෂ 06ක් ලබාදුනහොත් මාස 4ක් ඇතුළත, ඇමෙරිකන් ඩොලර් අටලක්ෂ හතළිස් දහසක් ලබාදෙන බව පවසා යොෂුකි නයාෂි යන අය රවටා වංචාවක් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා නඟා තිබිණි. ඒ අනුව මෙලෙස නඩු පවරනු ලැබුවේ ඥානදීපන් සිවජෝති, ඩිලන්ත රංජුල බණ්ඩාර මාලගමුව, මංගලසේන විජිත බණ්ඩාර රණරාජා යන විත්තිකරුවන් තිදෙනාට එරෙහිවය.

මේ නඩුව සඳහා නඩු භාණ්ඩ 06ක්ද, සාක්ෂිකරුවන් 08 දෙනකුගේ ලැයිස්තුවක්ද නීතිපතිවරයා නඩුවට ඇතුළත් කර තිබිණි.  සිද්ධියට අදාළ කොළඹ කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණයේ මුල් නඩු වාර්තා කැඳවන ලෙස නියම කළ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය අදාළ නඩුව ලබන 2016 ජනවාරි 08 වැනිදා කැඳවන ලෙසද නියම කළාය.

Share this