ලෝක කම්කරු දිනය අදයි

වසර 129 කට පෙර අද වැනි දිනක අමෙරිකාවේ චිකාගෝ නගරය උණුසුම් වූයේ අසාධාරණයට එරෙහිව නැගී සිටි කම්කරු පිරිසකගේ විරෝධතාවකිනි. පසුව එම දිනය ලොව පුරා වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් අවධාරණය කරන සුවිශේෂි දිනය බවට පරිවර්තනය විය.

ශ්‍රී ලංකාවේ කම්කරු ප්‍රජාව ලෝකවාසී කම්කරුවන් සමග එක්සත්ව පෙළ ගැසෙන්නේ සිය අයිතීන් දිනා ගැනීමේ අඛණ්ඩ අරගලයේ තවත් එක් සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි. ලෝක ඉතිහාසයේ තවත් අමරණීය දිනයක සටහන් තබමින් වර්ෂ 1886 මැයි මස 01 වන දා අමෙරිකාවේ චිකාගෝ නුවරට කම්කරුවන් පිරිසක් එක්වුනේ තම වැඩමුරය පැය 08 කට සීමා කරන්නැයි ඉල්ලමිනි.එදා සටන්පාඨ කියමින් එම උද්ඝෝෂණයට එක් වූ පිරිස දහසකට අධික ය.

වැඩවර්ජනය දිගින් දිගටම ක්‍රියාත්මක වෙද්දී තුන්වන දිනයේ ඊට එක්ව සිටි කම්කරුවන් පිරිස 65000 ඉක්ම විය. වර්ෂ 1886 මැයි මස 03 වන දා වැඩවර්ජනයේ තීරණාත්මක දිනය විය. සේව්‍ය මෙහෙය වීමෙන් ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් පිරිසක් වැඩවර්ජනයට ප්‍රහාරයක් එල්ල කළේ කම්කරුවන් සිව් දෙනෙකුට සිය දිවි අහිමි කරමින් ය. මේ පහරදීමට විරෝධය පළ කරමින් මැයි මස 04 වන දා හේමාර්කට් චතුරශ්‍රයට කම්කරුවන් පිරිසක් එක්විය.

එදා පොලිස් හා කම්කරුවන් වචන හුවමාරුවක පැටලුණු අවස්ථාවේ එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් එක් පොලිස් නිලධාරියකු ද මිය ගියේ ය. ගැටුමක් දක්වා වර්ධනය වූ එය තවත් උග්‍ර වුණේ පොලිස් නිලධාරීන් 06 දෙනෙකුට ජීවිත අහිමි කරමිනි. ගැටුමින් මියගිය කම්කරුවන් සංඛ්‍යාව අදටත් ගැටලුවකි. 

ඔගස්ටස් ස්පයිස්, ඇල්බට් පාර්ඩ්න්ස්, ඇඩොල්ෆ් ෆීෂර්, ජෝර්ජ් එන්ගල්ස්, සැමුවෙල් ෆීල්ඩන්, ලුයිස් ලන්ග්, මයිකල් ස්ට්වැච් හා ඔස්කා නිබේ යන කම්කරුනායකයින් පොලිස් අත්අඩංගුවට පත් වූ අතර ඔවුන්ට එරෙහිව නඩු පැවරිණ. ඒ අනුව, ඔස්කා නිබේට වසර 15ක සිර දඬුවමක් නියම වූ අතර සැමුවෙල් ෆීල්ඩන්, මයිකල් ස්ට්වැච් දෙදෙනාට නියම වුණේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබීම ය. අනෙක් පස් දෙනා එල්ලා මැරීමට නියම විය.

1889 වසරේ රැස් වූ ජාත්‍යන්තර කම්කරු සංවිධානය තීරණය කළේ පැය 8ක සේවා කාලයක් ඉල්ලා අරගල කරමින් රුධිරය වැගිරූ තම සගයින් සදාතනිකව සිහිකිරීමට ය. ඒ අනුව සෑම වසරකම මැයි 01 වන දා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් වුණේ අදටත් කම්කරුවන්ගේ අයිතිවාසිකම් රැක දෙන දිනයක් ලෙස හඳුන්වමිනු යි.

Share this