ඇමති පුතා පැහැරගත් බව කියන දැරිය ආයේ එන්න බෑ කියලා

අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුතු වන එක්සත් සේනාරත්න විසින් රඳවාගෙන ඇතැයි කියන බාලවයස්කාර දැරිය සම්බන්ධයෙන් වන පැමිණිල්ල විභාග කිරීමට මහාධිකරණය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට යොමුකර තිබේ.

කෙසේ වෙතත් අද දිනයේ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ගෙන් විමසා සිටියේ 2014වසරේ සිදුවූ මෙම පැහැරගැනීම සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට මෙතරම් ප්‍රමාද වූයේ මන්ද යන්නයි. දරුවෙකු පැහැරගෙන ගිය අවස්ථාවක කඩිනමින් පැමිණිලි කිරීම සාමාන්‍ය ක්‍රියාදාමය බැව් වගඋත්තරකාර පාර්ශවයෙන් නීතිඥයින් මෙහිදී පෙන්වාදී තිබේ.

එසේ හෙයින් මෙතරම් ප්‍රමාදවී පැමිණිලි ඉදිරිපත් කිරීම පිටුපස සද්භාවය පිළිබඳ ගැටළුවක් ඇතැයි වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥවරුන් විසින් අධිකරණය හමුවේ කරුණු දක්වා ඇත. මෙම අවස්ථාවේදී පැහැරගිය බව කියන දැරිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥයින් අධිකරණයට‍ දන්වා සිටියේ තම සේවාදායකයා දෙමව්පියන් වෙත යාමට කැමැත්තක් නොදක්වන බවයි. එසේම ඇයට ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු ප්‍රශ්නයක් නැතැයි පොලීසිය හමුවේ ප්‍රකාශ කර ඇති බව ද ඇයගේ නීතිඥවරයා විසින් පෙන්වාදෙන ලදී.
ඒ අනුව අදාළ පැමිණිල්ල වැඩිදුර විභාග කිරීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා මේ පිළිබඳ වාර්තාවක් ජූනි මස 03වන දින අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවද දන්වා ඇති බව වාර්තා වේ.


Share this