මලාලාට වෙඩි තැබීමට වරදකරුවන් වූ 10 දෙනෙක් දිවි ඇති තෙක් හිරේට

නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ පකිස්තානයේ මලාලා යුසුෆ්සායි දැරියට වෙඩි තැබූ දස දෙනෙකුට ජීවිතාන්තය දක්වා අද සිරදඩුවම් නියම කෙරුණා. ඒ, වයඹ දිග පකිස්තානයේ අධිකරණයක් විසින්. සිරදඩුවමට නියම වූ දස දෙනාම පකිස්තාන තලෙයිබාන් සංවිධානයේ සාමාජිකයින් වනවා. 2012 වසරේදී පකිස්තානයේ ස්වැට් ප්‍රදේශයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් මලාලා බරපතල තුවාල ලැබුවා. 

එවකට ඇගේ වයස අවුරුදු 15 ක්. වෙඩි ප්‍රහාරයෙන් මලාලාගේ හිසට බරපතල තුවාල සිදුවුණා. ජීවිතයත් මරණයත් අතර සටනක නිරතවූ ඇය මාස 3 කට පසු සම්පූර්ණයෙන්ම සුවය ලැබුවා. මලාලා පකිස්තාන ත්‍රස්තයින්ගේ වෙඩි ප්‍රහාරයට ලක්වුණේ ගැහැණු දරුවන්ගේ අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් ඇය විසින් ගෙන යනු ලැබූ අරගලය හේතුවෙන්. ඒ සමගම ලෝකයේම අවධානය දිනාගත් ඇය 2014 වසරේදි නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබුවා. 

මේ වනවිට 17 හැවිරිදි වියේ පසුවන මලාලා සිය පවුලේ සාමාජිකයින් සමග ජීවත් වන්නේ එංගලන්තයේයි. ඇයට පකිස්තානයට පැමිණීමට නොහැකි වී ඇත්තේ තලෙයිබාන් සටන්කාමීන්ගෙන් එල්ල වන තර්ජන හේතුවෙන්.

Share this