Interview with Theja Nadeeshani

ආදරයෙන් මැරයකු දමනය කරන බබී හෙවත් තේජා

මිණිමහිම, ඇසිඩ්, උතුම් පැතුම්, කුටු කුටු මාමා, මීදුමෙන් එහා, හංස පිහාටු සහ සුසිල නිෂ්පාදන ආයතනය මගින් කළ සෙල්ෆි කියන ටෙලි නාට්‍ය ඇතුළු ටෙලි නාට්‍ය රැසකින් ඔබේ ආලින්දය සැරසීමට පැමිණ මේ දිනවල ස්වාධීන රූපවාහිනි සේවයේ කළු කුරුල්ලා ටෙලි නාට්‍යයේ බබීගේ චරිතයෙන් ඔබ වෙත එන තේජා නදීෂානි අද සිරස ගොසිප් චැට් එකට එක් වුණා. මේ ඇය සමග කළ සම්පූර්ණ සාකච්ඡාවයි. 


තේජා කියන්නේ කවුද?
ම්ම්ම්.... තේජා කියන්නේ මෑත කාලීන ටෙල් නාට්‍ය ක්ෂේත්‍රයට ආපු නවක මුහුණක්. මම බොහෝම සාමාන්‍ය කෙනෙක්. සාමාන්‍ය සරල ජීවිතයක් ගත කරන කෙනෙක්. 

කොහොමද ඔබ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට ඇතුළු වුණේ. 
මම සැලෝන් දෙකක් කළා. මම ඒවාට ෆේස්බුක් එකේ පේජ් එකක් හැදුවා. ඒකත් එක්ක මගේ ඡායාරූප ඒකට අප්ලෝඩ් කරන්න ගත්තා. මගේ හීනයක්වත් ආශාවක් කිසිම දෙයක් තිබුණේ නැහැ රංගනය සම්බන්ධයෙන්. ඊට පස්සේ සුසිල එකේ ලයාල් කියලා AD කෙනෙක් මගේ ඡායාරූප දැකලා මට ස්ක්‍රීන් ටෙස්ට් එකකට එන්න පුළුවන් ද කියලා ඇහුවා. එතකොට මම බෝයි කට්  ෂූට් එකක් කරලා හිටියේ. ඊට පස්සේ සුසිල එකේ AD මට කිව්වා මම ඔයාගේ ෆොටෝ දැක්කා. අපි රෑන කියලා ටෙලි නාට්‍යයක දඟකාර චරිතයක් ඕනි. ඒකට පොඩි ස්ක්‍රීන්ට ටෙස්ට් එකකට එන්න පුළුවන්ද කියලා ඇහුවා. මාස දෙකක් තිස්සේ කතා කළා. ඒත් මම පිළිතුරක් දුන්නේ නැහැ. ඊට පස්සේ මම නිකමකට වගේ ගියා.  සුසිල කිව්ම ඉතින් ගොඩක් ජනප්‍රිය ගොඩක් වැඩ කරලා තියෙන ආයතනයක්. ඉතින් පස්සේ ස්ක්‍රීන් ටෙස්ට් එක කළා. ඊට පස්සේ ඒකේ මැඩම් සන්ධ්‍යා මෙන්ඩිස් කිව්වා මෙයා ගන්න. මෙයාගේ ෆොටෝ ෂූට් එකක් කරන්න කියලා. ඒත් මම ක්ෂේත්‍රය  ගැන දන්නේ නැති නිසා මම ෆොටෝ ෂූට් එකට ගියේ නෑ. ඒක නිසා මට ඒ ටෙලි නාට්‍යට සම්බන්ධ වෙන්න බැරි වුණා. ඒත් ඒගොල්ලෝ මගේ ඡායාරූප මොඩල් බෑන්ක් එකක් හරහා අරන් තිබුණා.  ඉතින් ඒවත් එක්ක මට වෙළෙඳ දැන්වීම් වැනි වැඩ ලැබෙන්න ගත්තා. ඒත් මට රෑන ටෙලි නාට්‍යට සම්බන්ධ වෙන්න වුණේ නැහැ ෆොටෝ ෂූට් එක මග ඇරිය නිසා. ඒ විදිහට තමයි මම මෙම ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ. 

ඔබේ පළමු ටෙලි නාට්‍ය මග හැරුණනේ... මතකද පළමුවෙන්ම රංගනයෙන් දායක වුණ ටෙලි නාට්‍යය. 
ඔව්... සන්තාපය කියලා කෙටි චිත්‍රපටයක්. එය විනාඩි 15ක වගේ කෙටි චිත්‍රපටයක්. කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් පිරිසක් තමයි එය කළේ. අතුල කියලා එයාලාගේ ලෙක්චර් කෙනෙක් තමයි ඒක අධ්‍යක්ෂණය කළේ. ඒකේ දෙබස් මොකුත් නැහැ. රංගනය පමණයි තිබුණේ. ඒ වන විට මම කැමරාව ඉදිරියේ කොහොමද රංගනය කළ යුත්තේ කියලා මම කිසිම දෙයක් දන්නේ  නැහැ. ක්ලෝස් එකක් කියන්නේ මොකක්ද? වයිඩ් එකේ ෂොට් එකක් කියන්නේ මොකක්ද? අපි ඇක්ට් කරනවා කියන්නේ මොකක්ද? කැමරාව කොහෙන්ද යන්නේ. ලයිටින් කරනවා කියන්නේ මොකක්ද කියලා කිසිම දෙයක් දන්නේ නැහැ. මට මතකයි මම එදා තනියම මේකප් කර ගත්තේ. ඒවත් එකක් මම ඒක කරා. එතැනින් මම පොඩි දෙයක් ඉගෙන ගත්තා. ඒත් ඒ වටපිටාව මම හඳුන ගත්තා. මං එතැන හරිම අසාර්ථකයි. මොකද ආධුනිකයිනෙ. එහෙම තමයි මුලින්ම රංගනයට එකතු වුණේ. 

මේ වන විට කොහොමද රංගනයේ දායකත්වය. 
ම්ම්ම්ම්ම.... දැන් නම් ඉතින් ගොඩක් කාර්ය බහුලයි. මම ගොඩක් අධ්‍යයනය කරලයි මේ ගමන ආවේ. මගේ පවුලේ කිසිම කෙනෙක් කලාවට සම්බන්ධ නැහැ. තනිවම එන ගමනක්. තනිවම අධ්‍යයනය කරලා. සෑම පොඩි දෙයක් සම්බන්ධයෙන්ම අධ්‍යනය කරනවා. ඒ වගේම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ දැවන්තයින් සමග තමයි මට වැඩ කරන්න ලැබුණේ. ඒක මගේ වාසනාවක් කියලා මම හිතනවා. පොඩි කාලයක් වැඩ කළත් ඒ හරහා මට ගොඩක් ලොකු අත්දැකීමක් ලැබුවා. 

මේ දවස්වල නිතරම ස්වාධීන රූපවාහිනියේ කළු කුරුල්ලා ටෙලි නාට්‍ය තුළින් දකින්න ලැබෙනවා. කොහොමද ඒකට ලැබෙන ප්‍රතිචාර.
ඔව්.. මේ දිනවල මම ස්වාධීන රූපවාහිනියේ විකාශය වන කළු කුරුල්ලා ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වනවා. එම ටෙලි නාට්‍යයේ 'බබී' කියන චරිතය කරන්නේ. මෙම ටෙලි නාට්‍ය ශිවගුරුනාදන් මහත්තයාගේ ටෙලි නාට්‍යයක්. බබී කියන චරිතය ගැන කියනවා නම් ඉතින් සරල විදහට මෙහෙම කියන්න පුළුවන්. බබී කියන්නේ දඟකාර, හැමෝගෙම ආකර්ශනය දිනාගෙන ඉන්න එසේම ලොකු ගේමක් ගහන කෙනෙක්. ඒ වගේම හොඳ ප්‍රතිචාර ලැබෙනවා එම චරිතයට. 
ඒ  වගේම මගේ පළමු ටෙලි නාට්‍යයත් විකාශය වුණේ ස්වාධීන වුණේ. ඒ ත්‍රිෂුලදීප තඹවිට කියන ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයාගේ මිණිමහිම කියන ටෙලි නාට්‍යය. ඔහු තමයි මගේ පළමු ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයා. මෙහිදි මතක් කරන්න ඕනි උදය ශාන්ත අයියා... මොකද ඔහු තමයි ටී.එන්.එල්. රූපවාහිනියේ මගේ වැඩසටහනක් දැකලා ක්ෂේත්‍රයට හඳුන්වා දුන්නේ. එහිදී මම කළේ සෙකන්ඩ් රෝල් එකක්. ඒක හොඳට ප්ලේ වුණා.  ඒ වන විටත් මම ලොකු දෙයක් දන්නේ නැහැ. එතැනින් තමයි මගේ මූලික අඩිතාලම හැදුණේ. ඊට පස්සේ තමයි ස්වාධීන රූපවාහිනියේ දෙවැනි ටෙලි නාට්‍ය තමයි දැන් විකාශය වන කළු කුරුල්ලා. 

බබි කියන්නේ මොන වගේ චරිතයක්ද?
බබි කියන චරිතෙ කතාවේ හැටියට මදනායක කියන ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයා තමයි විවාහ කරගෙන ඉන්නේ. මදනායක කියන්නේ වයසින් වැඩි, මහත මනුස්සයෙක්. ඒත් ඔහුට සෑහෙන දේපළ තියෙනවා. ඔහුට වැඩිපුර තියෙන්නේ කළු සල්ලි.  ඒ හරහා තමයි ඔහු දේපළ රැස්කරගෙන තිබෙන්නේ. ඒ දේපළ වලට ආශාවෙන් තමයි මම තුන් වැනි විවාහයට යන්නේ. මදනායක කියන්නේ මැරයෙක්. ඒත් ඒ මැරකම් සියල්ල මගේ ආදරය හරහා ඩවුන් යනවා. නමුත් මම බොරු ආදරයක් තමයි කරන්නේ. ඉතිරි ටික නම් ඉතින් කියන්න බෑ. නමුත් ඒ හරහා ගොඩක් දේවල් කරනවා. මදනායක වැනි මැර චරිතයක් ඩවුන් කරලා ගේමක් ගහන චරිතයක් තමයි බබී කියන්නේ. 

කොහොමද බබීට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර?
ගොඩක් අය කතා කරලා කියනවා අම්මෝ ඔයා ගොඩක් මහත කෙනෙක්ටනේ ආදරය කරන්නේ, ඔයට එයාට බත් කවනවා වැනි දේවල් කියනවා. ඔයාට එයාව ගැලපෙන්නේ නැහැනේ කියලා කියනවා. ඒත් ඉතින් ඒ චරිතය මුලින් ගොඩනැගෙන්නේ ඒ ආකාරයට කියලා. ඒ වගේම මං එහි රංගනයෙන් දායක වන ආකාරය හොඳයි, ඒ කතාවේ තේමාව හොඳයි කියලා කියනවා. මෙම ටෙලි නාට්‍ය සමාජයේ දේශපාලනය, නීතිය වැනි අද සමාජයේ ගැටලු සම්බන්ධයෙන් තමයි කතා කරන්නේ. ඒක තමයි මම මුලිනුත් කිව්වේ මට සම්බන්ධ අවස්ථාව ලැබුණේ වැඩි වටිනාකමක් සමාජයට දෙන්න පුළුවන් ටෙලි නාට්‍යවලට කියලා. සමාජයට දෙයක් දෙන්න පුළුවන්. කලාකරුවෙක් විදිහට සෑහෙන වගකීමක් යුතුකමක් ඉටු කරන්න පුළුවන් මෙතැනින්. ඒ දෙකම මෙතැනින් දෙන්න පුළුවන්. 

බබී නිසා මහමගදී අනපේක්ෂිත ප්‍රතිචාර ලැබිලා නැද්ද? 
ලැබෙනවා. තාම ලොකුවට නැහැ. මීට කලින් ප්‍රචාරය  වුණු හංස පිහාටු ටෙලි නාට්‍යයට තමයි වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නේ. මම  හිතනවා බබී කියන චරිතය ගොඩක් ජනප්‍රිය වෙයි කියලා. මොකද විකාශණය ආරම්භ වෙලා සති දෙකක් වගේ වෙන්නේ. 

තනියම ආපු ගමන ගැන මොකද කියන්න තියෙන්නේ. 
පොඩි කාලයක් වුණාට සෑහෙන කටුක අත්දැකීම් තියෙනවා. මට ගොඩක් දේවල් කැප කරන්න වුණා. මුලින් අපේ පවුලේ අයගෙන් කැමැත්තක් ලැබුණේ නැහැ. මගේ ව්‍යාපාරික කටයුතු කරගෙන ඒවා දියුණු කරගෙන හිටියා නම් හොඳයි කියලා ආකල්පයක් ඔවුන්ගේ තිබුණා. 

හංස පිහාටු ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වුණා ඔබ. එහි විස්තර ටිකක් දැනගන්න කැමැතියි. 
හංස පිහාටු ටෙලි නාට්‍ය ශිවගුරුනාදන්  මහත්තයාගේ අධ්‍යක්ෂණය කරන සද්ධාමංගල සූරියබණ්ඩාර මහතා ලියන ටෙලි නාට්‍යයක්. දේශපාලනය සම්බන්ධ කතාවක් එහි යන්නේ. ඇත්තටම මේරටේ දැනට සිටින චරිත තමයි එහි තිබුණේ. ලංකාවේ මන්ත්‍රීලා ඇමැතිලාගේ ඇත්තම චරිත තමයි එහි තිබුණේ. වෙනස තිබුණේ නම්වලින් විතරයි. කිත්තා කියන චරිතය ඊට අදාළව දැනට ලංකාවේ කෙනාට එයාට දැනිලා තියෙනවා. ඔහු පසුව හැදිලා තියෙනවා. ඒ  වගේම මට මෙහිදී මතක් කරන්න ඕනි ක්ෂේත්‍රයේ ප්‍රවීන කලාකරුවන් සමග වැඩ කරන්න අවස්ථාව ලැබුණා. උද්දික ප්‍රේමරත්න, සාරංග දිසාසේකර, මල්කාන්ති අක්කා, ශ්‍රියන්ත මෙන්ඩිස්, ආශා එදිරිසිංහ, තාරුකා වන්නිආරච්චි, ජනති විජේක්‍රම වැනි ප්‍රවීන අය සමග වැඩ කරන්න පුළුවන් වුණා. මං මුලින්ම එහි නමක් නැතිව චරිතයට ආවේ. ඒත් පසුව මට ගැලපෙන ආකාරයෙන් චරිතය ලියවුණා. හොඳ රංගනයක් ඊට ලබාදෙන්න පුළුවන් වුණා. විශේෂයෙන් මතක් කරන්න ඕනි එහි සහය අධ්‍යක්ෂකවරු දෙන්න අමිල අයියා සහ තරංග අයියා. පුදුමාකාර පිලිවෙළක්, පුදුමාකාර සහයෝගයක් ලබාදුන්නේ. මං එතැනින් තමයි රංගනය කියන්නේ මොකක්ද රංගනයේ තියෙන තාක්ෂණික දේවල් ගැන පොලිෂ් වුණේ මම එතැනින්. ඒ කණ්ඩායමේ අයම තමයි දැන් විකාශය වන කළු කුරුල්ලා. ඒක නිසා වැඩ කරන්න හරිම පහසුයි. 

ඉදිරියේදී කරන්න ඉන්න ටෙලි නාට්‍ය මොනවාද? 
ත්‍රිෂුලදීප තඹවිට මහත්තයාගේ සියපත් වසන්තය ටෙලි නාට්‍ය එළැඹෙන අගෝස්තු මාසයේදී ජාතික රූපවාහිනියෙන් විකාශය වීමට නියමිතයි. එසේම තිළිණ බොරලැස්ස මහතාගේ පිටස්තරයා කියලා එකක් ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වීමට නියමිතයි. එසේම ඔහුගේ තවත් ටෙලි නාට්‍යයකට රංගනයෙන් දායක වී තිබෙනවා. එසේම මම මුල්ම කාලේ කරපු ටෙලි නාට්‍යයක් වන T20 කියලා ටෙලි නාට්‍යයක් මේ දිනවල ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වනවා. 


ගීත රූප රචනාවලට දායකත්වය කොහොමද?
ගීත රූප රචනා දෙකකට සහභාගි වෙලා තියෙනවා. ඒවා අගෝස්තු මුල් මාසයේදී ප්‍රේක්ෂකයන්ට දැකගන්නට පුළුවන් වෙයි. එහිදී මම නොහිතපු ආකාරයේ රංගනයක නිරත වෙන්න වුණා. ඒ අම්මා කියලා ගීතයකට. එහිදී මට ගොඩක් වයසක චරිතයක් තමයි රඟදක්වන්න වුණේ. ඒක අගෝස්තු මාසය වන විට දැක ගන්නට පුළුවන් වෙයි. 

චිත්‍රපටවලට දායකත්වය කොහොමද? 
මම සුදේශ් වසන්ත පීරිස් මහතාගේ රන් සයුර කියන චිත්‍රපටයට දායක වුණා. නමුත් ලොකුවට දායක වෙන්න බැරි වුණා. නමුත් ඇරයුම් තියෙනවා. මේ ළඟදීත් එකකට කතා කළා. ජනප්‍රියම රංගන ශිල්පිනියක් දාලා කරපු වැඩක් අතරමග නතර වෙලා. ඒකටත් කතා කළා ප්‍රධාන චරිතයට. ඒ වගේම සුදේශ් අයියාගේ තවත් චිත්‍රපටයකට කතා කරලා තියෙනවා. මම ගොඩක් වැඩ කරන්න පහසු අය තෝරා ගැනීමක් තියෙනවා. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ තවත් අත්දැකීම් ලබාගෙන චිත්‍රපට ක්ෂේත්‍රයට ගියොත් හොඳයි කියලා තමයි මං හිතන්නේ. 

ඔබේ ගමනට උදව්පදව් කරන අය ගැන සඳහන් කළොත්. 
මට අම්මාගෙන් ලැබෙන ආශීර්වාදය තමයි ගොඩක්ම වැදගත්. අම්මා, තාත්තා, සහෝදරයෝ තමයි මට උදව් කරන්නේ. මගේ අයියාලා දෙන්න තමයි මට උදව් කරන්නේ. මම තමයි පවුලේ බාලයා. 


ඇතැමුන් කලා ක්ෂේත්‍රය විවේචනය කරනවා. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?
මේ ක්ෂේත්‍රය විවේචනයට මම කැමැති නැහැ. මං විවේචනය කරන්නෙත් නැහැ. නමුත් අගය කළ යුතු දේ අගය කරනවා. විවේචනය කළ යුතු තැන විවේචනය කරනවා. පොදුවේ විවේචනයට මම අකැමැතියි. මං මුලින් කිව්වා මම කලාව සහ ක්ෂේත්‍රය ගැන මුකුත් නොදැන ආවේ කියලා. ඒත් දැන් මම කලාවට පණටත් වඩා ආදරෙයි. මගේ ගමන හෙමිහිට යන්නේ. මට හදිස්සියක් නැහැ. මං ගොඩක් කැමැති අධ්‍යයනය කරලා යන්න. ගොඩක් අයව අධ්‍යයනය කරනවා. ක්ෂේත්‍රයේ දැනඋගත් අයව අධ්‍යයනය කරනවා. මං මේ වනතෙක් ටෙලි නාට්‍යවල ප්‍රධාන චරිතයක් කරලා නැහැ. ඇතැමුන් අහනවා ඇයි තේජා ඔයාගේ දක්ෂතාවයට තාම චරිතයක් ලැබුණේ නැද්ද? ඇයි ඔවුන්ගේ චරිතවලට කොටුවෙලා ඉන්නේ කියලා. ඉතින් මම ඔවුන්ට උත්තර  දුන්නේ මම ඒ තුළින් ලොකු දේවල් ඉගෙන ගනිමින් තමයි මේ ගමන යන්නේ. අඩිය අඩිය තියලා ඉස්සරහට යද්දි තමයි ගොඩක් වැදගත් වෙන්නේ. මට අවශ්‍ය හොඳම කියන තැනට යන්න ඕනේ අත්දැකීම් ලබාගෙන. 

ක්ෂේත්‍රයේ ඔබේ අරමුණ කුමක්ද?
මේ ක්ෂේත්‍රයේ හොඳම නිළියක් වීම. 

ගොසිප් වෙබ් අඩවි ගැන දරන මතය කුමක්ද? 
ගොසිප් මාධ්‍ය හොඳයි. ඒක කලාකරුවෝ එසේම අනෙක් සියලුම දෙනා දැනගත යුතුයි හොඳ දේවල් කරන්න. විශේෂයෙන් කලාකරුවෝ දැනගන්න ඕන ඉතින් අපේ පෞද්ගලිකත්වය සහ පෞරුෂත්වය ආරක්ෂාගෙන කටයුතු කරන්න. මොකද අපේ දිහා පොඩි ළමයාගේ ඉඳන් වැඩිහිටියා දක්වා බලාගෙන ඉන්නවා. ඔවුන් අපගෙන් යම් යම් හොඳ හෝ නරක හෝ දේවල් ඔවුන්ගේ ජීවිතවලට ගලපා ගන්නවා.  ඒක නිසා අපි දැන ගන්න ඕනි සමාජයට හොඳ විදිහට හැසිරෙන්න. 
කොහොම වුණත් බොරු නැතිව අත්ත දේ හෙළි කරන ගොසිප් කලාවට මම කැමැතියි. මොකද ඒවායින් ඇතැමුන් ගොසිප්වලට බයේ හෝ හැදෙන්න ඉඩ තියෙනවා. සමහරු නම්  හැදෙන්නේ නෑ. ගොසිප් කියන එක හදා ගන්න රැල්ලකුත් තියෙනවා. 












මෙය විශාල කර බැලීමට ඡායාරූපය මත Click කරන්න. එසේ නොමැති නම් ඡායාරූපය මත Rightclick කර Open Image New Window යන්න Click කරන්න. 



Share this