සංගාගේ සහ තිරිගේ පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඒ කාණ්ඩයේ කණ්ඩායමක් දෙකක් වන ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද පැවැති තරගයෙන් කඩුලු 9ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ ලබාගත හැකි වූයේ කඩුලු 6කට ලකුණු 309ක් පමණයි.  එහිදී ජෝයි රූට් ලකුණු 121ක් ලබාගත්තේ පන්දු 108ක් තුළ හතරේ පහර 14ක් සහ හයේ පහර දෙකක් සමගින්. ඉයන් බෙල් පන්දු 54කදී හතරේ පහර 7ක් සමගින් ලකුණු 49ක් ලබාගැනීමට සමත් වුණා. මෝගන් ලකුණු 27යි. 

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ලසිත් මාලිංග, සුරංග ලක්මාල්, ඇන්ජලෝ මැතිව්ස්, ටී.එම්. ඩිල්ෂාන් රංගන හේරත්, තිසර පෙරේරා එක් කඩුල්ල බැගින් බිඳ හෙළීමට සමත් වුණා. 


ලකුණු 309ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පළමු කඩුල්ල වෙනුවෙන් ඩිල්ෂාන් සහ තිරිමාන්න එක්ව ලකුණු 100ක සබඳතාවක් ගොඩනගනු ලැබුවා. ලකුණු 44ක් ලබා ඩිල්ෂාන් පිටියෙන් ඉවත් වීමත් සමග තිරිමාන්න සමග එක්වූ සංගක්කාර ඉනිම අවසන් වනතුරු ප්‍රේක්ෂයන් අමන්දානන්දයට පත්කරමින් පිටිය සිසාරා පහරදීම ආරම්භ කළේය. තිරිමාන්න පන්දු 143ක් තුළ හතරේ පහර 13ක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 139ක් ලබාගත්තා. කුමාර සංගක්කාර නොදැවී ලකුණු 117ක් ලබාගත්තේ පන්දු 86කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර 11ක් සමගින්. 

එංගලන්ත කණ්ඩායමේ මොයින් අලි පමණක් එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා. 



Share this