එංගලන්තේ ඡන්දෙ ඉල්ලන ලංකාවේ චාමලීගේ ජීවන තතුවලින් බිදක්

බි‍්‍රතාන්‍යයේ කේම්බි‍්‍රජ් නගරය හරිත වර්ණයෙන් බබළන තිරසාර එමෙන්ම සාධාරණ ජනපදයක් ලෙස ලෝකයේ ඉදිරියට ගෙන ඒම සඳහා රජය, පෞද්ගලික අංශය සහ සාමාන්‍ය ජනතාව සමග එක්ව වැඩ කිරීම අරමුණු කර ගනිමින් 2015 මැයි 07 වැනි දින පැවැත්වීමට නියමිත බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මහ මැතිවරණයට කොන්සර්වේටිව් පක්ෂයෙන් කේම්බි‍්‍රජ් ඡන්ද කොට්ඨාසයෙන් තරග වදින ඇය 36 වියේ පසු වන චමාලී ප‍්‍රනාන්දු ය.
1979 දී නැගෙනහිර මිඩ්ලන්ඩ්වල උපත ලද චමාලිගේ මව වනිතා ෆර්නෑන්ඩුය. පියා සුමාල් ෆර්නෑන්ඩු ය. ඔවුහු ශ‍්‍රී ලාංකිකයෝ ය. ඇගේ පියා එංගලන්තයේ නීතීඥයකු ලෙස පුහුණුවීමට ප‍්‍රථමයෙන් ලංකාවේ කළුතර නීතීඥ මණ්ඩලයේ සාමාජිකයකු ලෙස කටයුතු කර ඇත. ඔහුට වනිතා ෆර්නෑන්ඩු මෙනවිය මුණ ගැසී ඇත්තේ නීතීඥයතු ලෙස තවත් සුදුසුකම් හදා ගැනීමට ඔහු එංගලන්තයට පැමිණි පසුව එංගලන්තයේදීය. ඇගේ මව 1976 දී එංගලන්තයට පැමිණ ඇත්තේ හෙදියක් ලෙස පුහුණු වීමටය. කෙසේ වෙතත් වසරක පමණ ඇසුරකින් පසු ඔවුන් විවාහ වී ඇති අතර විවාහයෙන් පසු එංගලන්තයේ පදිංචි වී ඇත. පසුව ඇගේ මව වින්නඹු මාතාවක් ලෙස සේවය කර තිබේ. චාමලී ෆර්නෑන්ඩු වන ඇගේ දියණියගේ දරු උපත සිදු කර ඇත්තේ ඇය විසින්මය. එම සිදුවීම චමාලි ප‍්‍රනාන්දු මෙසේ විස්තර කරයි.
“මම උපත ලැබූ දිනයේ රෝහලට යාමට දෙමාපියන්ට කාලයක් තිබුණේ නැහැ. එම නිසා මා උපත ලැබුවේ නිවසේදී. මාගේ පියා කම්පනයට පත්වූවත්, මාගේ මව, වින්නඹු මාතාවක් බැවින් ඇය තනිවම මගේ උපත සිදුකරලා. කිසිවෙකුගේ සහයක් නොමැතිව. අපිට තිබෙන්නේ නිදහස් සෞඛ්‍ය සේවා ක්‍රමයක්. ඊට ලොවම ඊර්ෂ්‍යා කරනවා. අපි එය රැකගත යුතුයි. අපිට ඒ ගැන ආඩම්බරයි”
වසර 4කට පෙර ඇගේ පියා විශ‍්‍රාම යාමට ප‍්‍රථමයෙන් වසර 30ක කාලයක් එංගලන්තයේ නීති ආයතනක සේවය කර ඇත. එම නිසා දේශපාලනමය හා නීතිමය වටපිටාවක් සහිත පවුලක හැදී වැඩණු චමාලි, පියාගේ අඩිපාරේ යමින් ලන්ඩනයේ විශ්වවිද්‍යාල ආයතනයෙන් නීතිය හැදෑරුවාය.
2002 වසරේදී අධිනීතිඥයකු ලෙස සුදුසුකම් ලැබුවේ Inns of court school of Law  ආයතනයෙනි.
ඉන්පසුව ඇය 2012 වසරේදී ඇමෙරිකාවේ නිව්යෝර්ක්වලදී අවසරලත් නීතිවේදිනියක් ලෙස දිව්රුම් දුන්නාය. එංගලන්තයේදී ඇය ලැබූ නීතිමය පරිචය තුළ නීතිය සැලසුම් කිරීම, සේවානියුක්තිය, මූල්‍ය වංචා හා පුද්ගල හා ආයතනවල අයිතීන් ආදී විෂය ක්ෂේත‍්‍රයන් දැක්විය හැකිය.
පරිසරය සම්බන්ධයෙන් ඇය තුළ පවතින සංවේදිතාව සහ පරිසරය ආරක්ෂා කිරීමට ඇය තුළ පවතින නොසන්සික්‍ෂෙන ආශාව සනාථ කරන හොඳම සාධකය වන්නේ ඇය පරිසරය පිළිබඳ ජාත්‍යන්තර අධිකරණය සමග සම්බන්ධ වී ප‍්‍රතිපත්ති උපදේශකවරියක ලෙස ක්‍රියා කිරීමයි.

ඇමෙරිකාවේ උසස් අධ්‍යාපනය ලැබීමට පෙර එනම් අවුරුදු 16 කට පෙර බි‍්‍රතාන්‍යයේ අර්බරි පාරේ ජීවත් වූ අවධිය සිහිපත් කරන ඇය සඳහන් කරන්නේ යම් දිනෙක දේශපාලනයට අවතීර්ණ වී තමන් ජීවත් වූ මේ අපූරු නගරයට යමක් ප‍්‍රදානය කළ යතු බව ඇය තරයේ සිතට ගත් බවයි. එනම් තමන් උසස් පෙළ විභාගය වෙනුවෙන් දේශපාලන විද්‍යාව හැදෑරූ සමයේ සිට දේශපාලනයට පිවිසීමේ කැමැත්තක් ඇති වුණු බව ය.

“කේම්බි‍්‍රජ් කියන්නෙ ඉතාමත් ලස්සන නගරයක්. විද්‍යාවේ, පර්යේෂණයන්ගේ, නව සොයාගැනීම් ආදී බොහෝ ක්ෂේත‍්‍රයන්ගේ පුරෝගාමීන් මේ නගරයෙන් බිහි වී තිබෙනවා. කේම්බි‍්‍රජ්වලින් ආරම්භ කර සමස්ත ලෝකයම සැබෑ පාරිසරික වෙනසක් කරා මෙහෙය වීම මගේ අරමුණයි. ඒ වෙනුවෙන් යන මාගේ දේශපාලන ගමනේ ප‍්‍රමුඛතා වන්නේ, ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම, රැකියා අවස්ථා නිර්මාණය කිරීම සහ සාධාරණ හරිත තිරසර සමාජයක් ගොඩනැගීම යන කරුණුය.” යනුවෙන් ඇගේම වචනවලින් ඇය සඳහන් කරයි.නීතිමය කටයුතුවලට අමතරව මානසික රෝගීන් පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන ඇය මානසික රෝගීන් සඳහා අත්පළඳනාවක් පැළඳවිය යුතු බවට යෝජනා කර තිබේ. සමාජයෙන් මානසික රෝගීන් අවශ්‍ය සැලකිල්ල ලබා ගැනීම සඳහා ඇය එම යෝජනාව කර ඇති අතර එය මේ වන විට බි‍්‍රතාන්‍ය දේශපාලන වේදිකාවේ වඩාත් කතාබහට ලක්ව ඇත.

ලන්ඩනයේ බීබීසී මාධ්‍යයේ දේශපාලන වැඩසටහනකදී ඇය තමා ගැනම විස්තර කර ඇත්තේ “තමන් ප‍්‍රායෝගික දේශපාලන ප‍්‍රතිපත්ති ප‍්‍රතිෂ්ඨාපනය කිරීමට සහ තමා නියෝජනය කරන ආසනයට වගවී ක්‍රියා කරන නව දේශපාලන යුගයක කොටසක් වන බවයි.” මධ්‍යම පාන්තික පුරුෂයන් විසින් ආධිපත්‍ය පතුරවාගෙන සිටින එක්සත් රාජධානියේ් දේශපාලනය වර්ණවත් කිරීමට බලාපොරොත්තු වන චමාලි ප‍්‍රනාන්දු පිළිබඳව ටයිම්ස් පුවත්පත විස්තර කරන්නේ “ඇය දේශපාලනයේදී ඇදහිය නොහැකි ලස්සනක්” යනුවෙනි.

ලන්ඩන් දේශපාලනය වෙනස් වී ඇති බවත් කෙන් ලිවින්ග්ස්ටන්ගේ විනාශකාරී ආසාවන් නිසා ජනතාව හෙම්බත් වී සිටින බවත් ඇය තවත් වරෙක අවධාරණය කළාය.

දේශපාලන පොර පිටියට ඇය තරුණ වැඩි බව ඇතැමුන් පැවසුවත් බි‍්‍රතාන්‍ය පුවත්පත් සඳහන් කරන්නේ ඇය නිවැරදි ගිනි පුපුරක් හා (a right firework) සරඹ සැරයන් වරියක (a drill sergeant) බවත්ය.

යුද්ධයෙන් පසුව එංගලන්තයේදී නැවතත් ශක්තිමත් වෙමින් යන දෙමළ ඩයස්පෝරාව නැවැත්වීමට කටයුතු කරන්නේද යනුවෙන් මාධ්‍ය ඇසූ පැනයට ඇය මෙසේ පිළිතුරු දී ඇත. “කොටි හිතවතුන් සහ පුළුල් ඩයස්පෝරාව අතර වැදගත් වෙනසක් ඇති කළ යුතුයි. කල්ලි කණ්ඩායම්වල සහ දරුණු කොටි කණ්ඩායම්වල බලපෑම් සහ උත්සාහයන් තරු පහේ සන්නිවේදන කණ්ඩායම්වලට සමාන වෙයි. පාර්ලිමේන්තුව තුළ සමබර හඩක් සුරක්ෂිත කළ යුතුයි. සමාජ ඒකාබද්ධතාවක් ඇති කළ යුතුයි.”

















Share this