දේව දඬුවමට අවනත වූ තරුණයා දින 21කට පසු මරුවා සමග යයි

හරක් මස් කෑම නිසා දේව දඬුවමක් ලෙස දින 21 ක් කාමරයක දමා සිර කර තිබීම හේතුවෙන් 31 හැවිරිදි තරුණයෙක් මිය  ගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ මාවනැල්ල වෑගන්තලේ  ඊ. ඒ. ආර්. ප්‍රසන්න පි‍්‍රයලාල් නැමැති අවිවාහක තරුණයෙක්.

පසුගිය මැයි 11 වැනි දින යාළුවෙකු මුණ ගැසීමට කොළඹ ගොස් මධ්‍යම රාත්‍රියේ නිවසට එමින් සිටියදී සිහිසුන්ව ප්‍රසන්න ඇද වැටී ඇත. එදින ප්‍රසන්නගේ නිවසේ තම මවගේ නැගණියකගේ පුතෙකු වන දැනට කට්ටඬියෙකු ලෙස කටයුතු කරනු ලබන වයස 16ක පමණ පුතණුවන් විසින් විශාල ශාන්තිකර්මයක් කරමින් සිටි බව ප්‍රසන්නගේ මව වන ඒ. ආර්. එම්. ගුණරත්න මැණිකේ මහත්මිය පැවසුවාය.

"මරණයට පත් වූයේ මාගේ වැඩිමහල් පුතා මට පුතාලා තුන් දෙනෙකුයි දුවලා දෙන්නෙකුයි ඉන්නවා. අපේ ගෙදර කරදර වැඩියි. දවසක් අපි නිමිත්තක් බලපුවාම කීවා තවත් මාස තුනකින් කරදරයක් වෙන්න තියෙනවා ඒක නිසා ශාන්තිකර්මයක් කරන්න කියලා.

මෙම ශාන්තිකර්මය කරපු දවසේ ලොකු පුතා හිටියේ නැහැ. යාළුවෙකුගේ දිහා ගහින් හිටියේ නමුත් අපි මෙ වැඩේ ලෑස්ති කලා. ප්‍රසන්න පුතා කොළඹ ගිහින් එදා  ඇවිත් තියෙන්නේ හරක් මස් කාලා. එදා තමයි අපි තොවිලය කළේ. හරක් මස් කාපු පුතා සිහිසුන්ව වැටුණේ ශාන්තිකර්මය පැවත්වූ නිසා මෙ බව අපිට කීවේ අපේ කට්ටඬි පුතා දෙයියෝ එයාට දඬුවම් දීමක් සිදු කර ඇති බවයි.

පස්සේ එයාට එන්න එන්න අමාරු වුණා. කෑමක් බීමක් ගත්තෙත් නැහැ. නමුත් කට්ටඬි පුතා කිවේ ඉස්පිරිතාලේ ගෙන යන්න එපා හොඳ වෙයි කියලා. එයා හෘද සැත්කමක් කලින් කරලා තිබුණේ එකට බෙහෙත් බිබී තමයි හිටියේ ඒ බෙහෙත් තිබුණ නිසා අපි බෙහෙත් ගෙන්න අරන් ගියේ නැහැ. මෙ රෝගය වැඩි වුණ නිසා අපි රෝහලට අරන් යනකොට එයාට ගොඩාක් අමාරු වෙලා මැරුණා"

නමුත් ගම්වාසීන් සහ නෑදැයන් පිරිස විරෝධය පා කියා සිටියේ මෙම මරණය කට්ටඬියා විසින් මෙම රෝගී පුද්ගලයා දින 21 වැඩි කාලයක් නිරාහාරව කට්ටඬියෙකුගේ කීම අසා රෝහල්ගත නොකොට නිවසේ තබා කර ප්‍රතිකාර නොලබා සිදු කර ඇති මරණයක් ලෙසයි. අද දහවල් ගම්වැසියන් එක්වී වෑගන්තලේ මියගිය ප්‍රසන්නගේ නිවසේ අටවා තිබූ සාත්තු කිරීමට යොදා ගත් මල්පැළ හා තවත් ඒ සඳහා යොදා ගත් ද්‍රව්‍ය රැසක් කුපිත වී විනාශ කර දමා තිබිණි.

මේ සිදුවීම සම්බන්ධව මියගිය ප්‍රසන්නගේ පියාගේ වැඩිමහල් සහෝදරයා වන ඊ.ඒ.ආර්. පොඩිබණ්ඩා මහතා මෙසේ පැවසීය,

"මේ මරණය දෙමාපියන්ගේ වරදින් සිදු වූ මරණයක්.  ගම්වාසීන්ට මේ නිවසට එන්න දුන්නේ නැහැ. කිලි අහුවෙනවා කියලා. වැටවල් බැඳලා ටකරන් ගහලා වැළැක්වුවා. මම අනන්ත කීවා මෙ දරුවාට ප්‍රතිකාරයක් කරන්න කියලා. අන්තිමට දින 7 න් හා දින 21 හොඳ වෙනවා කියලා කොල්ලා මැරිලා ගියා. අන්තිම දවස් වල කෙඳිරි ගානවා ළඟ ගෙවල් වලට ඇසී තිබෙනවා. මෙවැනි දේවල් වලට නීතිය හරි හැටි කි‍්‍රයාත්මක කරන ලෙස අධිකරණයෙන් බෑගපත්ව ඉල්ලා සිටිනවා"

මෙම මරණය පිළිබඳ මරණ පරීක්‍ෂණය අද මාවනැල්ල රෝහලේදී පැවැත්විණි. එහිදී මාවනැල්ල රෝහලේ හදිසි මරණ පරීක්‍ෂක ඩබ්ලිව්. එම්.  ආනන්ද වීරකෝන් මහතා සහ මාවනැල්ල පොලීසියේ පෙ: සැ: එච්. ඒ රත්නායක යන මහත්වරුන් විසින් පරීක්ෂණ කටයුතු අවසානයේ පවසා සිටියේ මෙම මරණය දැඩි ලෙස රෝගාතුර වීමකින් නිසි ප්‍රතිකාර නොලැබීම මත සිදු වූ මරණයක් බවයි.







Share this