Special transport permit or bus can not drive

විශේෂ මගී ප්‍රවාහන බලපත්‍රය නැත්නම් බස් එළවන්න බෑ
ජූලි 1 වැනිදා සිට නීතිය දැඩිවේ

මගී ප්‍රවාහන සේවයේ යෙදෙන සියලු බස් රියැදුරන් ලබන මස 01 වැනිදා සිට විශේෂ මගී ප්‍රවාහන බලපත්‍රය ලබා ගැනීම අනිවාර්ය බවත්, එසේ නොමැති බස් රියැදුරන්ට බස් රථ ධාවනය කළ නොහැකි බවත් නියෝජ්‍ය පොලිස්පති (රථවාහන) අමරසිරි සේනාරත්න මහතා පවසනවා. 

මේ නීතිය මගී ප්‍රවාහන සේවයේ යෙදෙන ලංගම සහ පෞද්ගලික බස් රථවලට මෙන්ම විශේෂ සේවා, කාර්යාල සේවා සහ සංචාරක ප්‍රවාහන සේවා බස් රථවලට ද බල පවත්වන බව ඔහු පවසයි.

මේ බලපත්‍රය නොමැතිව සුළු හෝ අනතුරක් සිදු වුවහොත් අනිවාර්යයෙන්ම නඩු පවරන බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කර සිටී.

ත්‍රිරෝද රථ, කුලී ප්‍රවාහන සේවා මෝටර් රථ, පාසල් වෑන් රථ ඇතුළු සෙසු වාහන රියැදුරන් 2017 ජනවාරි මස 01 වන විට මේ බලපත්‍රය ලබාගත යුතු බවත් ඔහු පවසයි.

මඟී ප්‍රවාහනයේ යෙදෙන රියැදුරන් ඒ සඳහා වන විශේෂ පාඨමාලාවකට සහභාගි වී මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයාගෙන් රියැදුරු බලපත්‍රයේ පසුපස හිස්ව ඇති තීරයේ P. T. (Public Transport) යනුවෙන් මුද්‍රා කරවා ගත යුතු වේ.

මේ පාඨමාලාවට මගී ප්‍රවාහන රියැදුරන් සම්බන්ධ විය යුතු බවට 2009 වසරේ සිටම ගැසට් නිවේදන මඟින් දක්වා තිබුණත් බොහෝ රියැදුරන් ඒ සම්බන්ධව කිසිදු උනන්දුවක් නොදක්වන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටී.

මේ නිසා ඔවුන් විසින් පදවනු ලබන වාහනවල සිටින මගීන් මෙන්ම පදිකයන් සහ පාපැදිකරුවන් ද දැඩි ලෙස අනාරක්ෂිත වී ඇති බව ද ඔහු පෙන්වා දෙයි.

පසුගිය වසර 10ක කාලය තුළ වාහනවල ගමන් ගත් මගීන් 3831 දෙනකු මියගොස් ඇති අතර, පසුගිය වසරේ පමණක් මියගිය මගීන් ගණන 502ක් බව ද ඔහු පවසයි.

එයින් 229ක් ම ත්‍රිරෝද රථවල ගමන් ගත් අය බවත්, එයින් ද 27 දෙනෙකු වයස අවුරුදු 5ට අඩු ළදරුවන් බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දෙයි.

වාහන රියැදුරන් ද ඇතුළත් වූ විට මේ මරණ සංඛ්‍යාව බෙහෙවින් වැඩි බව ද ඔහු පවසයි.

පසුගිය වසර 10ක කාලයක් තුළ රථ වාහන අනතුරු නිසා 24842ක් මියගොස් ඇති අතර, ඉන් 7797ක් මහ මග ගමන් ගත් පදිකයෝය. තවත් 2513ක් පාපැදිකරුවන් බවත් නිවාස ඇතුළේ හෝ මාර්ගයෙන් පිටත වෙනත් කාර්යයන්හි යෙදී සිටි පුද්ගලයන් 158 දෙනකු මියගොස් ඇති බවත් ඔහු කියා සිටී.

මේ නිසා මගී ජීවිත ආරක්ෂා කර ගැනීම පිණිස මේ විශේෂ මාර්ග නීතිය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බව පවසන නියෝජ්‍ය පොලිස්පතිවරයා යම් අනතුරකදී මේ විශේෂ බලපත්‍රය නොමැති නම් අනිවාර්යයෙන්ම නඩු පවරන බව ප්‍රකාශ කරයි.

Share this