Capturing unseen side of the largest cocaine shipment .

සීනි සමග ගෙන්වූ කොකේන් තොගය ඇල්ලීමට STF එක ගහපු ගේමේ කවුරුත් නොදුටු පැත්ත 

ඒ ඉකුත් 12 වැනි ඉරිදාය. එදින දහවල් මුදල් අමාත්‍යාංශයේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරියකු මෙන්ම විශේෂ කාර්ය බළකායේ උප ‍පොලිස් පරීක්ෂකවරයකු වන අජිත් ප්‍රේමලාල්ට දුරකථන ඇමතුමක් ලැබුණේය. ඒ සිය පෞද්ගලික ඔත්තුකරුවකුගෙනි.

“සර් කොකේන් කන්ටේනර් එකක් ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. ඔන්න හෙට ඒක නිදහස් කරගන්න යනවා. පුළුවන් ඉක්මනට අල්ලන්න.”

ඔත්තුකරු දන්නා අයකු වුවත් ලැබුණු ඔත්තුව තරමක් භයානක විය. මේ නිසාම ප්‍රේමලාල් ඔත්තුකරුට මඳ වේලාවකින් නැවත දුරකථන ඇමතුමක් ලබාදෙන බව පවසා ඇමතුම විසන්ධි කළේය. එලෙස විසන්ධි කොට තම ප්‍රධානියාට ඇමතුමක් ගත්තේය.

ඔහු විශේෂ කාර්ය බළකායේ විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක සාගර කුලසේකරය. ප්‍රේමලාල් සාගරට ඔත්තුව ගැන දැනුවත් කළේය. සාගර උපදෙස් දුන්නේ හැකි ඉක්මනින් කන්ටේනරයට අදාළ තොරතුරු ලබාගන්නා ලෙසය.

ප්‍රේමලාල් නැවත ඔත්තුකරුට ඇමතුමක් ගෙන සියලු‍ විස්තර ලබාගත්තේය. ඒ අනුව කන්ටේනරය පැමිණ ඇත්තේ බ්‍රසීලයේ සිටය. එහි සීනි අඩංගු වන අතර අදාළ පෙට්ටිය මෙරට තිබෙන සමාගමකට එවා ඇති බවත් ME DU 1890832 දරන එය ඒ වන විට ඔරුගොඩවත්ත රේගු අංගණයේ තිබෙන බවත් ඔත්තුකරු හෙළි කළේය.

ප්‍රේමලාල් ඒ පිළිබඳව නැවත සාගර දැනුවත් කළේය. ඒ වන විටත් රෑ වෙමින් තිබුණ බැවින් හැකි ඉක්මනින් ක්‍රියාත්මක වීමේ හැකියාවක් තිබුණේ ද නැත. මේ නිසා සාගර තම බළකායේ අණදෙන ප්‍රධානී නියෝජ්‍ය ‍පොලිස්පති රංජිත් පෙරේරා මහතාට දැනුම් දුන්නේය. රංජිත් මහතා මෙහෙයුම සිදු කළ යුතු ආකාරය පැහැදිලි කළේය.

රේගුව මුදල් අමාත්‍යාංශය යටතේ පාලනය වන්නකි. එසේම මුදල් අමාත්‍යාංශයේ වැටලීම් ඒකකයේ නිලධාරීන් බහුතරයක් විශේෂ කාර්ය බළකායේ සෙබළුන්ය. එපමණක් නොව ප්‍රේමලාල් ද එම වැටලීම් ඒකකයේය. දෙදෙනා මෙම සිද්ධියට සම්බන්ධ තොරතුරු මුදල් අමාත්‍යාංශ විශේෂ වැටලීම් ඒකකයේ ප්‍රධානියාට දැනුම් දුන් අතර ඔහු ද මෙහෙයුමට සම්බන්ධ වූයේය.

ඒ අනුව එදින රාත්‍රිය පුරා අවශ්‍ය තොරතුරු ලබාගත් අතර ඊට පසුදින අදාළ මෙහෙයුම සිදුකිරීමට තීරණය කෙරිණ.

දිනය පසුගිය 13 වැනි සඳුදායා. එදින උදෑසනම විශේෂ කාර්ය බළකායේ සාගර ඇතුළු පිරිස රේගු ප්‍රධානීන්ට අදාළ ඔත්තුව ගැන දැනුම් දුන්නේය. ඒ වන විටත් අදාළ කන්ටේනරය ඔවුන් සන්තකයේ තිබුණු නිසාය. මෙහෙයුමට ඔවුන්ගේ අවසරය ලැබිය යුතු විය. රේගුවට ලබා දුන් තොරතුරු අනුව බ්‍රසීලයේ සිට අදාළ අංකය දරන කන්ටේනරය පැමිණ ඇති බව තහවුරු විය. එය ඔරුගොඩවත්ත අංගණයේ තිබෙන බව ද තහවුරු විය. ඒ අනුව ඔත්තුකරුගේ ඔත්තුවෙන් බාගයක් නිවැරදි විය. ඒ අනුව පිරිස හැකි ඉක්මනින් ඔරුගොඩවත්තට ගියහ. ඒ රේගුවේ ද සහාය ඇතිවය.

එලෙස පිටත් වන විට කන්ටේනරය ගෙන්වන ලද ඇව්රෝ ෂුගර් සමාගමේ අයිතිකරුට සහ වාප්පු ලිපිකරුට ද පැමිණෙන ලෙස දැන්විණි. විශේෂ කාර්ය බළකායේ පිරිස ඔරුගොඩවත්ත අංගණයට යන විටත් අදාළ කන්ටේනර් රථය එහි තිබුණේ නැත. එහෙත් එම කන්ටේනරයේ අංකය එහි ලියාපදිංචි වී තිබුණේය. ඒ අනුව සොයා බැලීමේ දී අදාළ කන්ටේනර් පෙට්ටිය වැල්ලම්පිටිය කළු පාලම අසල පිහිටි පෞද්ගලික අංගණයක තිබෙන බව දැනගන්නට ලැබිණි. රේගුවට අයත් ඇතැම් කන්ටේනර් පෙට්ටි එම අංගණයේ තබන බව පසුව හෙළි විය. කෙසේ වෙතත් කුමන නීතියක් යටතේ මෙය සිදුකරනවා ද නැද්ද යන්න සම්බන්ධව තොරතුරු දන්නේ ඔවුන්මය.

ඒ අනුව එකී අංගණයෙන් කන්ටේනර් පෙට්ටිය සොයා ගැනීමට හැකි වූ අතර අදාළ කන්ටෙන්ර් පෙට්ටිය පූර්ණ ආරක්ෂාව යටතේ ඔරුගොඩවත්ත අංගණයට රැගෙන එන ලදී. එලෙස ගෙන්වන විටත් පෙට්ටිය නිසි ලෙස මුද්‍රා තබා තිබුණේය. එදින සවස් වන විට අදාළ පෙට්ටිය ඔරුගොඩවත්තට රැගෙන ආ අතර එහි හිමිකරු ද පැමිණ සිටියේය. එවිට රාත්‍රිය උදාවෙමින් තිබුණේය. ඒ වන විටත් රේගුවේ රාජකාරි නිමවා ඇති නිසා පෙට්ටිය විවෘත කිරීමේ හැකියාවක් තිබුණේ නැත. මෙය කෙසේ හෝ පරීක්ෂා කළ යුතුම නිසා රේගුවේ සහායෙන් ඔවුන්ගේ ස්කෑනර් යන්ත්‍රය ලබා ගැණිණි. ඒ අනුව අදාළ පෙට්ටිය ස්කෑන් කිරීම ඇරඹිණි.  ස්කෑන් යන්ත්‍රය ක්‍රියාත්මක වන විට සාගර ද කන්ටේනරයට ගොඩවුණේය. ස්කෑනර් යන්ත්‍රය කිහිප වතාවක් පෙට්ටිය වෙත යොමු කෙරුණත් එහි සැක සහිත කිසිවක් ඇති බවට සටහන් නොවීය. පෙට්ටිය තුළ කිසිවක් නොමැති බව රේගුවෙන් දැන්වූයේ මේ නිසාය. මේ සිද්ධිය නිසා වැටලීම් නිලධාරීහු අන්දමන්ද වූහ. ප්‍රේමලාල් නැවතත් ඔත්තුකරුට ඇමතුමක් ගත්තේ ඒ නිසාය.

“එහෙම වෙන්න බෑ සර්. අනිවාර්යයෙන්ම ඕකේ තියෙන්න ඕන බඩු.” ඔත්තුකරු ස්ථිරවම කියා සිටියේය.

ඔත්තුකරු එසේ කීවත් එදින පෙට්ටිය විවෘත කිරීමට හැකියාවක් තිබුණේ නැත. මේ නිසා කටයුත්ත පසුදිනට යොදා ගැණිණ. ඒ අනුව විශේෂ කාර්ය බළකායේ සෙබළුන් පිරිසක් යොදවා පෙට්ටියට පූර්ණ ආරක්ෂාව ලබා දීමෙන් පසු පිරිස විසිර ගියහ. සිදුවන දේ කෙරෙහි හිමිකරු කිසිදු සැකයකින් තොරව බලා සිටියා මිස ඊට එරෙහිව වචනයක්වත් කීවේ නැත.

දිනය පසුගිය 14 වැනිදා ය. එදින පෙට්ටිය විවෘත කිරීම ආරම්භ කෙරිණ. රේගුවත්, විශේෂ කාර්ය බළකායත් මෙයට සහභාගි වී සිටියහ. සීනි සමාගමේ අයිතිකරු ද බලා සිටියේය. පෙට්ටිය විවෘත කෙරිණ. ඒ වන විටත් පෙට්ටිය පිරෙන්නට සීනි ගෝනි තිබුණේය. පිරිස සීනි ගෝනි එකින් එක ඇද බිමට දමන්නට පටන් ගත්හ. පළමු පෙළ ද පසුව දෙවැනි පෙළ ද ඉවත් කෙරිණ. ඒත් සීනි මිස වෙනත් දෙයක් නොවීය. තුන්වැනි කොටස ඉවත් කිරීම ඇරඹෙන විටම සීනි ගොඩ තුළ කළු පැහැති ට්‍රැවලින් බෑග් තුනක් තිබෙන අයුරු  දැකගැනීමට හැකි විය. බෑග් තුන එළියට ගෙන පරීක්ෂා කරන විට ඔත්තුකරු කිවූ පරිදිම කොකේන් කුට්ටි හමුවිය. කොකේන් දුටුවිට එහි හිමිකරු ද අන්දමන්ද වූයේය. ඔහුට කිසිවක් කියාගැනීමට ද බැරිවිය. තමා ඒ ගැනත් කිසිත් නොදන්නා බව ද ඔහු කීවේය. එය සෑහීමකට පත්විය හැකි පිළිතුරක් නොවූයෙන් ඔහු ද වාප්පු ලිපිකරුවන් දෙදෙනා ද අත්අඩංගුවට ගැණිණ. මේ අතර තුර කොකේන් තොගය බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාත් පැමිණියහ. එය නිලධාරීන්ට ලැබුණු දිරිදීමක් විය.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ ආරම්භ කළ අතර අදාළ කොකේන් ඇට ද පරීක්ෂා කෙරිණි. එහි කොකේන් කිලෝ 91.3 තිබූ අතර එය ලංකාවේ විශාලම කොකේන් තොගය ද විය. එසේම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සලකුණක් ද තිබුණි. මෙහි සිංහ රූපයක් සටහන් කර ඇති අයුරු දැකගන්නට හැකි විය. මෙය මෙරටට ආගන්තුක රූපයක් විය. මීට පෙර මිටිය, මකරා, ගෝනුස්සා ආදී සලකුණු තිබුණත් සිංහ රූපයක් දකින්නට හැකි වූයේ නැත. ඒ නිසා මෙය නව ජාලයක් විය හැකි යැයි බොහෝ දෙනා සැක කළහ.

කෙසේ වෙතත් මෙම කන්ටේනර් පෙට්ටිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණවල දී හෙළි වූයේ එය ඉකුත් මැයි මස 05 වැනි දා බ්‍රසීලයෙන් පිටත් වී ඇති බවත් ඉන් අනතුරුව පෘතුගාලයට ගෙන ගොස් වෙනත් නැවකට මාරු කර මෙරටට එවා ඇති බවය. ඒ ජුනි 05 වැනිදාය. කෙසේ වෙතත් කොකේන් තොගය මෙරටට ආනයනය කිරීම ගැටලු‍ සහගත බව පරීක්ෂණ කණ්ඩායම් කියති. එනම් මෙරට තුළ කොකේන් භාවිතය පහළ මට්ටමක පවතින බවත් කොකේන් භාවිත කරන්නේ විදේශිකයන් බවත් ‍පොලිසිය සඳහන් කරයි. මෙතරම් කොකේන් ප්‍රමාණයක් මෙරටට ආනයනය කරන්නට ඇත්තේ වෙනත් රටකට යැවීමේ අරමුණින් බව ද ‍පොලිසිය සැක කරයි. මිල අධික වන කොකේන් මෙරට තුළ විකිණීම අමාරු නිසා මෙය වෙනත් රටකට ප්‍රතිඅපනයනය කිරීමේ උත්සාහයක් තිබෙන්නට ඇතැයි පරීක්ෂණ කණ්ඩායම් සැක කරති.

කෝටි 200කට ආසන්න වටිනාකමක් ඇති මෙම කොකේන් කාට ලබාදෙන්නට ගෙන ආවේද? මෙය සීනි ආනයනකරුගේ කන්ටේනර් පෙට්ටියට ආවේ කෙසේද? එම හිමිකරු මෙයට සම්බන්ධ ද? මීට පෙරත් මෙලෙස ගෙන්වා ඇත්ද? යන සියලු‍ තොරතුරු ඉදිරියේ දී හෙළිවිය හැක. එදිනට මෙහි සැබෑ ජාවාරම්කරුවන්ගේ මුහුණු එළියට එනු ඇත. ඒ සඳහා දැනටමත් මත්ද්‍රව්‍ය කාර්යාංශය පරීක්ෂණ ආරම්භ කර ඇත. ඒ සඳහා හිමිකරුවනුත් වාප්පු ලිපිකරුවනුත් සිටින්නේ රැඳවුම් භාරයේය.




Share this