සීගිරි ළඳුන් සෙළවුණේ හෙළිකොප්ටර් නිසාද ?

සීගිරි පර්වතය ආශ‍්‍රිත තහනම් ගුවන් කලාපය උල්ලංඝනය කරමින් ඉකුත් දින කිහිපයේ පියාසර කර ඇතැයි කියන ගුවන් යානා සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට රජය තීරණය කර තිබෙනවා. මෙලෙස ගුවන් යානා පියාසර කිරීම හේතුවෙන් සීගිරියට බලපෑම් සිදුවී ඇති බවටයි විද්වතුන් පෙන්වා දී ඇත්තේ.

සීගිරි බිතුසිතුවම් සහිත ලෙනෙහි බදාම තට්ටුවක් ඉකුත් දා කඩා වැටුනා. ඒ සඳහාද බලපා ඇත්තේ මෙම තත්වය බවටයි සැක පල කරන්නේ. සීගිරියේ වත්මන් තත්වය පිළිබඳ සොයා බැලීමට අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාද ඊයේ (02) එහි සංචාරයක නිරත වුණා.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ සීගිරි පර්වතය ආශ‍්‍රිත තහනම් ගුවන් කලාපය උල්ලංඝනය කරමින් ඉකුත් දින කිහිපයේ පියාසර කර ඇතැයි කියන ගුවන් යානා සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කිරීමට අදාළ අංශ වෙත කඩිනමින් උපදෙස් ලබාදෙන බවයි. සීගිරි පර්වතයේ බදාම සංරක්ෂණයට සහ බිතු සිතුවම්වල ආරක්ෂාව වෙනුවෙන් කඩිනම් පියවර ගන්නා ලෙසයිි එහිදී අමාත්‍යවරයා බලධාරීන්ට දැනුම් දී ඇත්තේ.

ඒ සඳහා දෙස් විදෙස් විශේෂඥ දැනුම අනිවාර්යයෙන්ම උපයෝගී කරගන්නා ලෙසටද දැනුම් දීමක් කර තිබෙනවා. සීගිරි ලලනාවන්ගේ ඡායාරූප ගැනීමද තහනම් කර තිබෙනවා.

Share this