facebook ෆේක් ගිණුම්කාරයින්ට එරෙහිව ගයත්‍රී හෙන්ඩුව අතට ගනී

මේ වන විට ලංකාවේ ජනප්‍රියම සාමාජ ජාල වෙබ්අඩවිය ලෙසින් ප්‍රසිද්ධියක් උසුලන්නේ ''facebook'' නොහොත් මුහුණු පොතය. අන්තරජාලයේ සිටින බාල මහලු කොයි කවුරුත් දිනකට එක් වතාවක් හෝ මුහුණු පොතට එබෙන්නේ ය. නමුත් ඒ බොහෝ දෙනෙක් සිටින්නේ තමන්ගේ නොවුණු තමන්ගේම ගිණුමක ය. 

බොහෝ දෙනෙක් ෆේස්බුක් ගිණුම් සකසාගෙන සිටින්නේ රටේ සිටින ජනප්‍රිය චරිතයන්ගේ නම්, ගම්, ඡායාරූප ඇතුළත් කරගෙන ය. බොහෝ විට මේ හේතුව නිසා අපේ රටේ නළු, නිළියන් ද ගැටළු රාශියකට මුහුණ පා තිබෙනවා.
අප කවුරුත් හොඳින් දන්නා ජනප්‍රිය නිළියක මෙන්ම රූපලාවන්‍ය ශිල්පිනියක ද වන ගයත්‍රී ඩයස් ද ෆේස්බුකිය තුළ සිදුවන මෙකී හේතූන් ගැන ඉන්නේ කළකිරීමෙන්. ඈ ඒ ගැන කියූ කතාවයි මේ...

''ඇත්තටම facebook කියන්නේ හොඳ දෙයක්. නමුත් අපි යාළුවෝ විදිහට සම්බන්ධ කරගන්න ඕන අපි දන්නා අය විතරයි. ලෝකය පුරා සිටින බොහෝ දෙනා සම්බන්ධ වෙලා ඉන්න මේ තොරතුරු ජාලය තුළ අපි නොදන්නා අයත් සම්බන්ධ කරගන්නේ යහළුවෝ හැටියටයි. 

ඉතිං ඒ ඇති කරගන්න සබදතා ඒ අය අනිසි විදියට පාවිච්චි කරන්න පුළුවන්. ඒ අතරේ තමන්ගේ අවශ්‍යතා ඉටුකරගන්න ෆේස්බුක් පාවිච්චි කරන අය වැඩියි.''

ඔබට ඇයි මෙච්චරම ෆේස්බුක් ගිණුම් තියෙන්නේ?
''මට තියෙන්නේ එක ගිණුමයි. මුල් අවධියේදී මට ෆේස්බුක් ගැන අවබෝධයක් තිබුණේ නැහැ.. යහළුවෙක් මාර්ගයෙන් තමයි ගිණුමක් හදා ගත්තේ. මම ඒ ගිණුම පාවිච්චි කරන්නේ අවශ්‍ය දේට විතරයි.
මම තවම කාත් එක්කවත් චැට් කරලාවත් නෑ... හැබැයි මගේ නමින් තව ෆේස්බුක් ගිණුම් 20ක් විතර තියෙනවා. ඒවා නිර්මාණය කළ අය ඒ ගිණුම් හරහා මගේ රසිකයෝ මුලා කරන්න chat කරලා...

ඉතිං ඒ වගේ කළ ඇතැම් ගිණුම් මම රිපෝට් කරලා අයින් කරලා තිබුණත්, තවමත් මගේ නමින් ඇතැම් ගිණුම් භාවිතා කරනවා. ඇත්තටම සමහර අය මගෙන් අහනකොට සමහර දේවල් මම දන්නෙවත් නෑ... මගේ නමින් හදලා තියෙන ඇතැම් ගිණුම් හරහා වෙළඳ දැන්වීම්, විවිධ ප්‍රචාරණ කටයුතු කරනවා. සමහර වෙලාවට බලන්නත් අප්‍රියයි මගේ නමින් හදලා තියෙන ගිණුම්වලින් දාලා තියෙන දේවල්....

මට නම් මේක මහ කරදරයක්. මම ලොකු ගැටලුවකට මුහුණ පානවා මේ හොර ගිණුම් නිසා. මෝඩ මිනිසුන්ගේ මෝඩ වැඩ නිසා ලොකු කරදරේකට මට මුහුණ දෙන්න සිද්ධවෙලා තියෙනවා.

මගේ පාරිබෝගිකයින්ට වගේම, රසිකයින්ටත් මේ නිසා මගේ ඇත්තම ගිණුම හොයාගන්න අමාරු වෙලා. මම වගේම ඒ අයටත් මේක ගැටළුවක්. මගේ නිවැරදිම ෆේස්බුක් ගිණුම තමයි, ''ගයත්‍රී ඉරෝෂා ඩයස්'' කියන ගිණුම.''

මේ පිළිබඳව ඇයි ඉතිං ඔබ තවමත් නිහඬ?
'' මම තාම පටන් ගත්තේ නෑ... නමුත් ඉදිරියේ දී මේකට මොකක් හරි දෙයක් කරන්න ඕනේ... මම දැන්මම කියන්නේ මගේ නමින් තියෙන හොර ගිණුම් අයින් කරගන්න.. මොකද මම ඉදිරියේ දී මේකට ක්‍රියාමාර්ගයක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.''










Share this