උසස් පෙළින් ඉහළින්ම ජය ලද්දෝ

අද නිකුත් කෙරුණු අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල වලට අනුව ගණිත අංශයෙන් ලංකාවේ පළමු තැන හිමිකර ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලයේ  දසුන් ජයසිංහ  සිසුවා   සමත් වී තිබෙනවා.  එමෙන්ම කලා අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ජිවා නයනමාලි සිසුවිය සමත් වී තිබේ. එම අංශයේ දෙවන ස්ථානය මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේ නිරාෂා කුලරත්න සිසුවිය හිමිකරගෙන ඇති අතර තෙවන ස්ථානය කොළඹ කාන්තා විද්‍යාලයේ ෆාතිමා අමීරා ඉස්මයිල් සිසුවිය හිමිකරගෙන ඇති බව වාර්තා වනවා. 

පළමු වරට මෙවර උසස් පෙළ විභාගය සඳහා හඳුන්වාදුන් තාක්ෂණික විෂය ධාරාවට අදාළව ඉංජිනේරු තාක්ෂණවේදය සහ ජෛව පද්ධති තාක්ෂණවේදය යන විෂය ධාරා යටතේ සිසුන් 12,697 දෙනෙකු පෙනී සිට තිබෙනවා.  ඒ අනුව ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගෙන ඇත්තේ මාතලේ ශාන්ත තෝමස් පිරිමි විද්‍යාලයේ ශානක අනුරාධ සමරකෝන් සිසුවා විසින්ය.

ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට බණ්ඩාරවෙල ධර්මපාල මහා විද්‍යාලයේ වාසනා නවෝදනී මාරසිංහ සිසුවිය සමත්ව තිබේ.

මේ අතර පොදු විෂය ධාරාව යටතේ සිසුන් 4,038 දෙනෙකු මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිට ඇති අතර ඉන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට රත්නපුර සීවලි මධ්‍යම මහා විද්‍යාලයේ බුද්ධික චතුරංග කරුණාරත්න සිසුවා සමත්ව ඇති බව සඳහන්ය. 

අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵලවලට අනුව ජිව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට  ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයේ සිසුවියක සමත්වී ති‍බේ. ඒ අනුව එම පාසලේ උමේෂා කරුණාවැල්ලභ සිසුවිය ජීව විද්‍යා අංශයේ  දිවයිනේ පළමු ස්ථානය හිමිකර ගෙන ඇති බව සඳහන්ය. එම අංශයේ දෙවන ස්ථානය පුත්තලම ජනාධිපති විද්‍යා විද්‍යාලයේ ජේ.එම්.මොහොමඩ් මුන්සිෆ් සිසුවා හිමිකරගෙන ඇති අතර තෙවන ස්ථානය කොළඹ විශාඛා බාලිකා විද්‍යාලයේ යසස්වි වත්සලා සිරිවර්ධන සිසුවිය හිමිකරගෙන තිබේ.

එසේම වාණිජ අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය ලබා ගැනිමට කුරුණෑගල මලියදේව විද්‍යාලයේ  අකිල් මොහොමඩ් සිසුවා සමත් වි ඇත. එම අංශයේ කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සඳනි ඉරංගා දික්පිටිය විතානගේ සිසුවිය   දිවයිනේ දෙවන ස්ථානය හිමිකරගෙන ඇති බව සඳහන්ය. වාණිජ අංශයෙන් දිවයිනේ තෙවන ස්ථානය හිමිකරගෙන ඇත්තේ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ රන්දි රමේෂ් සිල්වා සිසුවා  වෙයි.

Share this