Horoscope predictions for Guru maruwa

අගෝස්තු 11දා සිදුවන ගුරු මාරුව ඔබට කොහොමද?

සෞරග්‍රහ මඬුල්‍ලේ කැපී පෙනෙන ග්‍රහයෙක් වන බ්‍රහස්පති විශ්ව කේන්ද්‍රයේ හෙවත් මේෂය මුල්කරගත් මූල කේන්ද්‍රයේ ධර්මස්ථාන අධිපතියාය. එමෙන්ම මෝක්ෂස්ථානාධිපතියාය. ලංකා කේන්ද්‍රය අනුව සැලකුවහොත් ගුරු ධන අය භාව අධිපතියාය.

ජීව යනුවෙන් නම් කරන බ්‍රහස්පති ජීවාරක්ෂක හෙවත් ඕනෑම ජන්මියකුගේ ජීවිතය සුරකින්නා ලෙස ද නම් කෙරේ. මොහු දෙවියන්ට ද ෂිවරුන්ට ද ගුරුවරයකු යැයි ‍ජ්‍යොතිෂ සාහිත්‍යයේ දැක්වේ.

ගුරුට නමස්කාර කරන ස්ලෝකයක දැක්වෙනුයේිදේවානාංච ෂිනාංච ගුරුං කාංචන සන්නිභම්’ යනුවෙනි. දෙවියන්ට ද, ෂිවරුන්ට ද ගුරුවරයා වන බ්‍රහස්පති කාංචන හෙවත් රන්වන් වර්ණයෙන් යුක්තය යන්න මෙතුළින් ගම්‍ය වේ. මහා ප්‍රාඥයා සහ ධර්මධරයා වන බ්‍රහස්පති උත්තරීතර ආධ්‍යාත්මික ඥානයට ද කාරකයාය.

අප බුදුරජාණන් වහන්සේ කසාවත භික්ෂූන්ගේ වස්ත්‍රය ලෙස තෝරා ගනු ලැබුවේ ග්‍රහ සිද්ධස්ථානයන්ට අනුකූලව විය හැක. ගුරුගේ වර්ණයෙන් යුක්ත වන කසාවත අධ්‍යාත්මික  ගවේෂණයේ යෙදෙන්නන්ට සුදුසු යැයි උන්වහන්සේ සැලකුවා විය හැක. එම වස්ත්‍රධාරීන්ට ප්‍රඥාවට කාරක, ආධ්‍යාත්මයට කාරක, මෝක්ෂයට කාරක ගුරුගේ ආකර්ෂණය නිතැතින් ලැබෙනවා විය හැක.

මෙවැනි සුවිශේෂත්වයන් උසුලන බ්‍රහස්පති වසර 12කින් පසු 2016 අගෝස්තු 11 දා රාත්‍රී 11.21ට කන්‍යා රාශියට පැමිණෙයි. මූල කේන්ද්‍රය පරිදි එය අරිටු භාවයකි. ලංකා කේන්ද්‍රය අනුව ද එය අරිටු භාවයකි. ඒ, ඒ තැන් 6, 8 වන බැවිනි. ‍ජ්‍යොතිෂයේ හරවත් බව හා ශාස්ත්‍රීයත්වය නොදන්නා මුග්ධයෙකු මිස ශුභ නැකතක දී පවා ගුරු 6, 8 තැන්වල තබා නැකත නොගන්නේ එය ඉතා අරිටු නිසාය.ිජීවශ්‍යා මෘත්‍ය ශෂ්ඨා.. නිත්‍යං වෛමෘත්‍ය යෝගං මරණ භය කරං නින්දිතං සර්ව කාර්යේ’ යනුවෙනි. මෙය ‍ජ්‍යොතිෂයෙහි ප්‍රවීණයෝ දනිති.

මේ ආදී වශයෙන් බ්‍රහස්පති හෙවත් ජීව ලෝක කේන්ද්‍රයෙහි හය වැන්නේ ද ලංකා කේන්ද්‍රයේ අට වැන්නේ ද ගමන් කරන බව කිව යුතුය. මේ ආකාරයට රටට හා ලෝකයට ද සාපේක්ෂව යහපත් ගමනක නොයෙදෙන බ්‍රහස්පති තම විරුද්ධකරුවකු වන බුධගේ කන්‍යා රාශියට පැමිණෙනුයේ තමාට හිමි භවනයෙන් සම සප්තමව ඇති ප්‍රත්‍යක්ෂ වෛරීභාවයක් හඟවන කන්‍යා රාශියටම බව දත යුතුය. මෙනිසා ගුරුගේ ගමන එතරම් යහපත් යැයි පැවසීමට පුළුවන්කමක් නැත. එසේ වුවත් මතෛක් රාහු සමග සංයෝග වෙමින් ගුරු චණ්ඩාල යෝගය උදා කළ බ්‍රහස්පති නවග්‍රහයන්ගේ අසික්ෂිත ග්‍රහයා වන රාහුගෙන් ඉවත්වීම නම් ශුභදායකය.

ගුරුවරුන්, බහුශ්‍රැතයන්, ශ්‍රමණ පූජකයන් ආදීන් නියෝජනය කරන බ්‍රහස්පති මතෛක් ගමන් කළේ චණ්ඩාලයා නමින් හඳුන්වන රාහු සමගය. ගුරු රාහුගෙන් ඉවත්වීම එක් අතකින් ගුරුගේ ගෞරවනීයත්වය රැකීමකි. ඉහත කී සමාජ කොටස්වලට කලක් තිස්සේ ඇති වූ අවමානය අපකීර්තිය මේ නිසා තරමක් දුරට හෝ අඩු වේ.

රටක් වශයෙන් සලකන කල බ්‍රහස්පති ලංකා කේන්ද්‍රයේ අටවැන්නට පැමිණීම අයහපත් නමුදු ත්‍රිකෝණ දෘෂ්ටියෙන් මහජනතාව නියෝජනය කරන හතරවැන්න ඔහු දකින නිසා ජනතාවට යහපතක් ද සිදු වේ. කිසියම් විදියක සමෘද්ධියකට ද මග පාදයි. නිවාස, කෘෂිකර්ම, වාරිමාර්ග, උසස් අධ්‍යාපනය වැනි අංශවල ප්‍රගමනයත් ප්‍රබෝධයත් ඇති කරයි. ශිලවෘද්ධ වයෝවෘද්ධ යතිවරයාණන් වහන්සේලා කීප නමකටම අපල ගෙන දේ. බ්‍රහස්පති මීට පෙර කන්‍යා රාශිගත වූ අවස්ථා අතර, එනම් වසර 12න් 12 එවැනි තත්ත්වයට පත් වූ අවස්ථා කීපයක අතීතය විමසීමේ දී යම් යම් ඛිදෙජනක සිද්ධීන් ඇති වූ බව කිව යුතුය.

මෙම බ්‍රහස්පතිගේ ගමන රාජ්‍යමය හා විපක්ෂමය වශයෙන් ද සැලකීමේ දී යම් යම් නායකයන්ට ශුභඵලත් තවත් අයකුට අශුභඵලත් ගෙනදීමේ අවකාශ ඇත. බ්‍රහස්පති ග්‍රහයන් අතර ශේෂ්ඨයා ලෙස සලකන නිසා ඔහුගෙන් ලැබෙන හොඳ හෝ නරක රටට ලෝකයට ආදර්ශයක් බවට පත් වේ. ප්‍රචණ්ඩත්වය, තර්ජනය වැනි දෑ ඇතිවන අවස්ථාවල දී ඒවා කුමන ආකාරයෙන් හෝ මර්දනය වන ස්වභාවයක් ගුරු ඇති කරයි. ලෝකය සම්බන්ධයෙන් සලකන කල ගුරු මාරුව එතරම් සතුටුදායක නොවේ. විශ්ව හෙවත් මූල කේන්ද්‍රයේ 6 වැන්නට පැමිණෙන බ්‍රහස්පති ලෝක සාමයට බාධා, සමය සමයාන්තර බෙදීම් මත ඇති කරන සටන් මෙන්ම ලෝකයෙහි ප්‍රධාන පෙළේ පුද්ගලයන්ගේ ඝාතන වැනි දුක්මුසු පුවත්වලින් යම් යම් වේදනාකාරී වාතාවරණයක් ඇතිකරලීමට මග පෑදේ.

බ්‍රහස්පතිගේ ගමන ඒ ඒ ලග්නවලට බලපාන්නේ කෙසේ දැයි මීළඟට සලකා බලමු.

සිංහ රාශියේ ගමන් කළ ගුරු රාහුගෙන් ද වෙන් වී කන්‍යාවට පැමිණ 2017 සැප්තැම්බර් 12 දක්වා එම රාශියේ ගමන් කරනු ඇත. මෙම ගුරු ඔක්තෝබර් 10 වෙනිදා අස්තයෙන් මිදීම 2017 පෙබරවාරි 06 වනි දා වක්‍රවීම 2017 ජූලි 09 දින නිවෘත වීම ආදී වෙනස්වීම්වලට භාජනය වේ. පෙබරවාරි 06 වක්‍ර වී ජූලි 09 නිවෘත වන තෙක් කාලයේ දී ගුරුගේ ප්‍රකෘති යහපත් ගුණාංගවල වෙනසක් යම් යම් ආකාරයෙන් ඇති කරයි.

මේෂ - උත්සාහයෙන් බාධා මැඬගත යුතුයි

යෝගකාරක භාග්‍යස්ථානාධිපති වූ ත්‍රිකෝණ භාවයේ සිට පැමිණෙනුයේ ණ භාවයක් වන 6 වැන්නටය. මෙය අශුභ නමුදු ගුරු චණ්ඩාලයෙන් මිදීම ශුභය. යම් යම් බාධා කරදර අසහන ගැටලු‍ ප්‍රශ්න සහිතයි. එහෙත් කිසියම් ආකාරයකින් බුද්ධිමත්ව ක්‍රියා කිරීම තුළින් අභිමතයන් සපුරා ගත හැක. ලග්නාධිපති කුජ සැප්. 18 වැනි දා සිට භාග්‍යස්ථානගතවීමෙන් කාලාන්තරයක් තිස්සේ පැවැති පීඩනකාරී තත්ත්වයන් ඉවත් වේ. ඒ නිසා ගුරු මාරුව අනෙක් ග්‍රහයන්ට සාපේක්ෂව යහපත් පැත්තට හරවා ගත හැක.

භාග්‍යස්ථානාධිපති ගුරු 6 වැන්නේ සිටිමින් නමුදු ත්‍රිකෝණ දෘෂ්ටියෙන් දසවැන්න දැකීම නිසා රැකියා කටයුතුවල ප්‍රගතියක් ආයාසයෙන් ලබාගත හැක. මුදල් හදල් සම්බන්ධ බාධා ඇතත් ගුරු ධනස්ථානය දැකීම නිසා විමසිලිමත් වීමෙන් ආර්ථික ප්‍රශ්න විසඳාගත හැක. සෙනසුරු 8 වැන්නේ ගමන් කිරීමෙන් හා ගුරු 6 වැන්නේ ගමන් කිරීමෙන් බාධා කරදර ලෙඩදුක් පීඩා වැනි අනවශ්‍ය ප්‍රශ්නවලට මැදි වීමෙන් අයහපත් වාතාවරණයක් ඇති කරතත් මාස 7ක් තිස්සේම අටවැන්නෙහි සෙනසුරුගේ පීඩාවෙන් යුක්තව ගමන් කළ ලග්නාධිපතියා ඉන් ඉවත්ව සාධනීය භාවවල ගමන් කිරීමෙන් කිසියම් ප්‍රගතියක් ලැබිමට අවකාශ යෙදේ. අධ්‍යාපනයේ නියුක්ත වන්නන් උත්සාහයෙන්ම කටයුතු කළ යුතුය. බාධාවන් ඇති හෙයිනි.

වෘෂභ - භාග්‍ය වාසනාව ඉස්මතු වේ

4 වැන්නේ ගමන් කරන බ්‍රහස්පති ඉන් ඉවත්ව පස්වැන්නට පැමිණීම හිතකරය. ගුරුට ගෝචරයෙන් 5 වැන්න ශුභ නිසාය. එහෙත් 8 අධිපති වශයෙන් 5 වැන්නේ ගමන් කිරීම ගැන සැලකිලිමත් විය යුතුයි. රැකීරක්ෂා ආදායම් මාර්ග සාර්ථක වේ. හිතමිතුරන්ගේ විරුද්ධවාදීකම් තුනී වේ. දරුලාභ බලා‍පොරොත්තු වන්නන්ට හොඳ කාල සීමාවකි. විවාහ මංගල යෝගයන් ද සක්‍රිය කරයි. කෙසේ නමුත් 8 අධිපතිගේ ගමන නිසා හැම විටම දුරදර්ශීව ක්‍රියා කළ යුතුයි.
බ්‍රහස්පති 9 හා ලග්නය දකිමින් ගමන් කිරීම තුළ අධ්‍යාපනයේ නියුක්ත වන අයට හිතකර වාතාවරණයක් ගෙන දේ. උසස් අධ්‍යාපනය බලා‍පොරොත්තු වන්නන්ට ඒ සඳහා ඉඩකඩ ලැබෙන අතර විදෙස් ශිෂ්‍යත්වයන්ට ද අවස්ථාව යෙදෙනු ඇත.

ගුරු 5 වැන්නේ ගමන් කරමින් ලග්නය දැකීමේ ප්‍රතිඵලයක් වශයෙන් අනාගතය පිළිබඳ දුරදර්ශී සිතිවිලිවලින් කටයුතු කිරීමට හැකියාව ඇත. තම සැලසුම් අනාගතයට පලදායක වන්නේය. අයස්ථානාධිපතියා වශයෙන් 5 වැන්නේ බ්‍රහස්පති ගමන් කරන නිසා ලොතරැයි දිනුම් හෝ වෙනත් අනපේක්ෂිත මාර්ගයේ ධන ලාභයන් ඇති කළ හැක. ප්‍රහර්ෂණය, ප්‍රතිභාව නියෝජනය කරන ස්ථානය වන 5 වැන්නේ ගුරු ගමන් කිරීම නිසා තමාගේ කුසලතාවන් ඔප්නැංවීමත් යම් යම් විනෝදය සතුට ගෙනදෙන නිර්මාණයන්හි උද්දීපනයක් මේ නිසා ඇතිවිය හැක.

මිථුන - ජීවිතයේ ප්‍රබෝධයන් ගෙන දේ

ගුරු ඉතාමත් අශුභ භාවයක සිට පැමිණෙනුයේ 4 වැන්නටයි. ගෝචරයේ දී ගුරුට 4 වැන්න විශිෂ්ට ප්‍රතිඵල ගෙන නොදුන්නත් තුන්වැන්නට වඩා යහපත්ය. මෙවැනි කේන්ද්‍ර හිමියන්ගේ චන්ද්‍රයා 3, 6, 8, 10, 12 ආදී ස්ථානවල සිටින්නේ නම් චන්ද්‍ර ලග්නය අනුව බ්‍රහස්පති ඉතා ශුභ ලෙස ගමන් කිරීමේ ප්‍රතිඵලය මත පැවැති අසහන පීඩා දුක් දොම්නස්, කරදර, සංතාපයන් මුළුමනින්ම අහෝසි වී ස්වකීය අභිමතාර්ථයන් පලගන්වනුයේ විරුද්ධවාදීන් මුළුගන්වමිනි. සමස්තයක් වශයෙන් ගුරුගේ මාරුව යහපතට මග සලසයි. යම් යම් අසහන පීඩා මධ්‍යයේ නමුදු සුබසෙත උදා කෙරේ.

ඉඩකඩම්, වෘත්තීය සම්බන්ධ ගැටලු‍ ඥාති බන්ධු ප්‍රශ්න මධ්‍යයේ නමුදු විශේෂයෙන් යහපතට මග පාදන්නේය. දූ දරුවන්ගේ අභිවෘද්ධියට වැඩකටයුතු සැලසේ. මෙය සෞඛ්‍ය තත්ත්වයේ යම් යම් ඌනතාවන් ඇති කරන කාරණයකි. උණ, සෙංගමාලය හා කොලෙස්ටරෝල් වැනි පීඩාවන් ගැන කල්පනාකාරී විය යුතුයි. විවාහාපේක්ෂාවෙන් සිටින අය සඳහා ඊට අවස්ථාව පෑදෙනු ඇත. විශේෂයෙන්ම අධ්‍යාපනයෙහි  නිරත වූවන්ට විභාග සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ජයග්‍රහණ ලැබිමට මෙය හොඳ අවස්ථාවකි.

කටක - කල්පනාකාරීව ක්‍රියා කළ යුතු අවධියක්

බ්‍රහස්පති තුන්වැන්නට පැමිණේ. මෙම භාවය ගුරුට අයහපත් යැයි ග්‍රන්ථාන්තරගතයි. මේ නිසා ගුරුගෙන් ලැබෙන අනිටු විපාක සමනය කරගැනීම සඳහා ඔබ ගුරුට හිමි වෘක්ෂය වන බෝධිය නමස්කාර කොට නැතහොත් බෝධිපූජා තබා ගුරුට හිමි කවචය සජ්ඣායනය කළ යුතුයි. කටක ලග්න හිමි ඔබ සෙනසුරු ආදීන්ගේ ගමන ද ගැන සලකා අලු‍තෙන් වැඩක් ආරම්භ කිරීම ගැන දෙවරක් සිතන්නට සිදු වේ. ගැටලු‍ ප්‍රශ්න බාධා උද්ගතවීමේ ප්‍රවණතාව සහිතයි.
මේ කෙසේ වුවත් ‍ලේඛකකාරකාදීන්, ග්‍රන්ථ කතුවරුන්, පුවත්පත් ක්‍ෂේත්‍රයේ නියුක්ත වන්නන්, සන්නිවේදනයන් සම්බන්ධයෙන් ගුරුගේ ගමන අහිතකර නොවන්නේය. එම වෘත්තීය ක්‍ෂේත්‍රයන්ට තුන්වැන්න දායක වන නිසා ගුරුගේ පැමිණීමෙන් ඊට අදාළ පිබිදීමක් ගෙන දේ. සෞඛ්‍ය තත්ත්වය ගැන කටක ලග්න හිමියෝ විමසිලිමත් විය යුතුව ඇත. හෘදයාබාධ, මේදය සම්බන්ධ පීඩා වැනි දෑ වළක්වාලීමේ ප්‍රතිකර්මවලට මුල්තැන දෙන්න. අධ්‍යාපනයේ නියුක්ත වූවන්ට මෙය මධ්‍යස්ථ ප්‍රතිඵලදායකය. විවාහාභිමුඛව සිටින්නන් සඳහා ආයාසයෙන් නමුදු මංගල යෝජනා ස්ථිර කරගැනීමේ ප්‍රවණතාවන් ඇති කරයි. කල්ගත වූ විවාහ ඉෂ්ටසිද්ධ වීමට අවකාශ ඇත.

සිංහ - බෙහෙවින් විශිෂ්ට ප්‍රතිඵල ගෙනදේ

ලග්නගතව පීඩා අසහන ප්‍රශ්න මතු කරමින් ගමන් කළ බ්‍රහස්පති ධනස්ථානය හෙවත් කුටුම්භස්ථානය වෙමින් ලග්නයෙන් දෙවැන්නට පැමිණීම මහත්ඵල මහානිසංසයන් ගෙන දෙන්නකි. වෘත්තීය සාර්ථකත්වය, ධනෝපායන මාර්ග සරුසාර වීම, ඔළුවේ තිබූ බර අඩුවීම, සිතට සහනයක් ලැබිම මෙන්ම ගෙදරදොරේ ජීවිතයේ සාර්ථකත්වය ඇති කරන කාලයක ආරම්භයකි. පහ අධිපති ගුරු ලග්නාධිපතිගේ ද මිත්‍රයා වෙමින් දෙවැන්නට පැමිණීමෙන් කාලාන්තරයක් තිස්සේ ඔබ සිතූ පැතූ අරමුණු අපේක්ෂා ඉෂ්ටසිද්ධවීමේ අවකාශයක් ඇති කළ හැක. ගුරු පවු‍ලේ සමෘද්ධියට ද බෙහෙවින් අතහිත දේ.

දැනට සෙනසුරු ශනි කණ්ටක දෝෂය සහිතව ගමන් කිරීමෙන් ප්‍රශ්න ඇතිවීමට අවකාශ ඇතත් මේවා ක්‍රමයෙන් තුනීවනු ඇත. විවාහාපේක්ෂකයන්ට මංගල යෝග සහිතයි. අධ්‍යාපනයේ නියුක්ත වූ අයගේ ප්‍රතිඵල සුබදායක වනු ඇත. දූ දරුවෝ ඉහළ මට්ටමේ තනතුරු ලබන අය බවට පත්වන නිසා සිංහ ලග්න හිමි වැඩිහිටි මාපියෝ ලොකු සතුටක් ලබනු ඇත. සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සැලකීමේ දී පෙරට වඩා යහපත් බවක් ඇති කරතත් ගැස්ට්‍රයිටිස්, කොලෙස්ටරෝල් වැනි පීඩාවන්ගෙන් පෙළෙන්නන් පරීක්ෂාකාරී විය යුතුය. ඊට සුදුසු වෛද්‍ය ප්‍රතිකර්ම ලැබේ.

කන්‍යා - කල්පනාකාරී වීමෙන් බාධා මැඬගත හැක

බාධකස්ථානාධිපති මෙන්ම කේන්ද්‍රාධිපති දෝෂයෙන් යුත් බ්‍රහස්පති තම ස්වක්‍ෂේත්‍රයෙන් සප්තමයට පැමිණේ. එය ප්‍රතිවිරුද්ධ ස්ථානයකි. එහෙත් මෙම ගුරු ග්‍රහලොව ශේෂ්ඨයෙක්ය යන්න අමතක කළ යුතු නැත. උත්පත්තියෙහි දී ලග්නගත ගුරු ශුභ වුවත් ගෝචරයේ දී ලග්නගත ගුරු අයහපත් වේ. මෙම ගුරු චන්ද්‍ර ලග්නයෙන් ද අශුභව ගමන් කරන්නේ නම් ප්‍රතිඵල අසතුටුදායකය. චන්ද්‍රයාගෙන් 2, 5, 7, 9, 11 වී ගුරු ගමන් කරන්නේ නම් අනිටු ප්‍රතිඵල තුනී වේ. ඒත් සඳුගෙන් 6, 8 වැනි තැනක වී ගමන් කරන්නේ නම් නොසිතූ විරූ අයහපත් ප්‍රතිඵල ඇති කරයි. සමස්තයක් වශයෙන් බාධකයා ලග්නගත වන නිසා දුරදර්ශීව ඥානවන්තව ක්‍රියා කිරීමෙන් අයහපත මැඬ යහපත උදාකළ හැක.
විවාහාපේක්ෂිත කන්‍යා ලග්න හිමියෝ මංගල යෝගයන්ගෙන් සතුටට පත්වෙති. දූ දරුවෝ යහපත් තත්ත්වයට පත් කරනු ඇත. නීතිවේදී, ශ්‍රමණ පූජකාදී හෝ ගුරු කථිකාචාර්ය, විනිසුරු වැන්නවුන්ට  ඊට කාරකයා වන ගුරුගේ ලග්නගතවීම බාධා මැද්දේ හෝ යහපතට මග සලසයි. ඔබට ඒරාෂ්ටක මාරක බාධක පවතින්නේ නම් ගුරුගේ ලග්නගතවීම අහිතකරය. හැකිතරම් අලු‍ත් අලු‍ත් දෑ එමෙන්ම යම් යම් ව්‍යාපෘතිවලට අත නොගසා නිශ්ශබ්දව සිටින තරමටම යහපත්ය. අධ්‍යාපනයේ නියුක්ත වන්නන්ට උසස් පාඨමාලා හදාරන්නන්ට මෙම ගුරු මාරුව බාධා මැඬගෙන හෝ ඉදිරියට යාමේ අවකාශයන් ලබා දේ.

තුලා - පීඩනයන් මැද යහපත ද සැලසේ

බ්‍රහස්පති 12ට පැමිණීම අශුභය. එහෙත් තුලා ලග්න හිමියාගේ ගුරු 6 අධිපතියා වශයෙන් 12ට පැමිණීමේ ප්‍රතිඵලය කිසියම් විදියකින් යහපත් වනුයේ එය හර්ෂ නමැති යෝගය උදා කරන නිසාය. මෙම බ්‍රහස්පති උත්පත්ති කේන්ද්‍රයේ සඳු සිටින ස්ථානයට පැමිණෙන්නේ නම් හිතකර නොවේ. එය කර්මජ ගුරු දෝෂයයි. තුලා ලග්න හිමියාගේ චන්ද්‍රයා 1, 3, 5, 7, 9, 10, 12 වැනි තැනක නම් කල්පනාකාරී විය යුතුයි.  සහෝදර පාර්ශ්වයන් නිසා ගැටලු‍ ප්‍රශ්න මතු වේ. විමසිලිමත්ව ක්‍රියා කළ යුතු කාලයකි. ඔබ සුදුසු උපදේශකයන්ගේ මිස නුසුදුස්සන්ගේ බස්වලට නොරැවටී ක්‍රියා කළ යුතුයි. නැතහොත් අමාරුවේ වැටේ.

සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සැලකීමේ දී ඉතාමත්ම විමසිලිමත් විය යුතුයි. හිටි හැටියේම ඇතිවන රෝගාබාධයන්ට ගොදුරු විය හැක. උදරගත රෝග, ආහාර දිරවීමේ දුර්වලතා ආම රෝග, සෙංගමාලය වැනි දෑ ගැන කල්පනාකාරී වන්න. බ්‍රහස්පතිගේ මෙම ගමන යම් යම් චෝදනා, අපවාද වැනි දෑවලට ද ඉඩකඩ යෙදෙන්නෙකි. එනිසා නීතිමය කටයුතු පරිපාලන කටයුතු මෙන්ම වගකිවයුතු ලියුම්කියුම් ආදියට අත්සන් කිරීමේ දී හොඳහැටි කියවා බලා කොන්දේසි පිළිබඳව අධ්‍යයනය කර ක්‍රියා කළ යුතුය. ඔළුවට බරක් දෙන ප්‍රශ්න මතු කරයි. හිතවතුන් සේ පෙනී සිටියත් එසේ නොවන බව තේරේ. යම් යම් ශෝකභරිත සිද්ධීන්ට මුහුණ දෙන්නට සිදුවනු ඇත.

වෘශ්චික - පවතින පීඩාවන්ගෙන් සහනයක් ලැබේ

සෙනසුරු ලග්නයෙහි පීඩාකාරීව ගමන් කරන ඔබට බ්‍රහස්පති ඉතා ශුභඵල දෙන අයස්ථානයට පැමිණීමෙන් සහනයක් සලසා දෙනු ඇත. රැකියා සම්බන්ධ ප්‍රශ්න යම් යම් අතෘප්තිකර ගැටලු‍කාරී දෑ හිතකාමී ලෙස විසක්‍ෂෙන අවස්ථාවන් උදාවිය හැක. ඔබේ ඔළුවට පැවැති ලොකු බරක් හිසෙන් අයින් කළා වැන්න. ගැළපෙන සුදුසු අය හිතමිත්‍රාදීන් වශයෙන් ලැබේ. මෙම බ්‍රහස්පති ධනස්ථානාධිපතියා මෙන්ම පූර්ව පුණ්‍ය ස්ථානාධිපතියා මෙන්ම ලග්නාධිපතියා මිත්‍රයා ලෙස ද ලාභස්ථානයට පැමිණීම තුළින් ධනය මෙන්ම දැනුම ද ලාභයක් ලෙස ක්‍රියාත්මක වේ. උසස්, උගත් ප්‍රභූ, පූජ්‍ය අංශයන්ගෙන් තමාට අනුග්‍රහය මෙන්ම ඉතා හොඳ නිර්දේශයන් ලැබෙනු ඇත. වෘත්තීය උසස්වීම්වලට ඉඩ ඇත.

විවාහාපේක්ෂකයන්ට ඉතාමත් හොඳ සුදුසු මංගල යෝජනා ඇති වේ. ඒවා බාධාවන්ගෙන් තොරව ඉෂ්ට සිද්ධ වේ. අධ්‍යාපනයේ නියුක්ත වන්නන්ගේ උත්සාහයන් සාර්ථක වනු ඇත. විශිෂ්ට සම්මාන සහිතව විභාග ආදියෙන් සමත් වේ. සරසවි ප්‍රවේශ වරම් ලබයි. ශිෂ්‍යත්වලාභීන්ට ද හිතකරය. නීතිය සම්බන්ධ විභාග හෝ නීති ප්‍රවේශයන්ට සම්බන්ධ විභාග සඳහා පෙනී සිටින, ඉහළ මට්ටමේ ලකුණු ලබමින් වරප්‍රසාදලාභීන් වනු ඇත. දරු සම්පත් බලා‍පොරොත්තු වන්නන්ට ඉතා වාසනාවන්ත දූ පුතුන් ලැබෙනු ඇත. වෘශ්චික ලග්න හිමියන්ට නිවාස දේපළ, ඉඩම් ලාභ සහිතය. එම කටයුතු අපහසුවෙන් තොරව සිදු වේ.

ධනු - වෘත්තීය අභිමානයෙන් යුක්ත වේ

සාමාන්‍ය ‍ජ්‍යොතිෂ නිගමනයේ පරිදි ගුරු 10 වැන්නට පැමිණීම යහපත් නැතත් ධනු ලග්න හිමියාගේ ලග්නාධිපතිම වන ගුරු කර්මස්ථානය හෙවත් අභිමානස්ථානය වන 10 වැන්නට පැමිණෙන නිසා වෘත්තීය කටයුතුවලින් ඉහළ මට්ටමේ ගරුත්වයක්, පිළිගැනීමක්, ප්‍රමුඛත්වයක් හිමි වන්නේය. එහෙත් මෙහි දී යම් යම් අභියෝග, ප්‍රතිවිරෝධතා ඇතිවන හෙයින් කල්පනාකාරී වී ක්‍රියා කළ යුතුය.

ඉඩකඩම් ගේදොර, යානවාහන ලැබේ. නිවාස ඉදිකිරීමට බලා‍පොරොත්තු වන අයට දෙමහල්, තෙමහල් හෝ ඊට වැඩි මට්ටමේ ගොඩනැගිලි ඉදිකිරීම සඳහා අවස්ථාව ලැබේ. 4 අධිපති ගුරු 10 වැන්න වන අහස් මුදුනේ සිටින්නේය. පවු‍ලේ ශුභසිද්ධිය, දූ දරුවන්ගේ අභිවෘද්ධිය, ඔවුන් ඉහළ මට්ටමට පත්වීම යන ශුභදායක අවස්ථාවන්ට පත්වනු ඇත. මෙවැනි තත්ත්වයන් මධ්‍යයේ නමුදු අධික ධන වියදම්, ධන හානි වැනි දෑවලට වුව ද ඉඩකඩ ලැබේ. මුදල්හදල් සම්බන්ධ කටයුතුවල දී සැලකිලිමත් වන්න. ධනස්ථානාධිපති වැයස්ථානගතව සිටින හෙයින් සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් එතරම් හිතකර නොවේ. අතපය සම්බන්ධ පීඩා, ආහාර නොදිරවීම, ආතරයිටිස් වැනි පීඩාවන් මතුකළ හැක. අධ්‍යාපනයේ නියුක්ත වන්නන් සඳහා හිතකර බවක් ඇත. ‍පොතපතට වැඩි නැඹුරුවක් ගෙන දේ. වෛද්‍ය, ‍ලේඛන, ප්‍රකාශන අංශයන්හි නියුක්ත වන්නන් සඳහා වැඩි යහපත් ප්‍රතිඵල ගෙනදිය හැක.

මකර - අභිමත සාධනය හා ආධ්‍යාත්මික නැඹුරුව

බ්‍රහස්පති මකර ලග්න හිමියාට එතරම් යහපත් ග්‍රහයෙක් නොවේ. එහෙත් භාග්‍යස්ථානයට ගුරු පැමිණීම, ගුරු ගුරුගේ කාරකස්ථානයට පැමිණීමයි. සුවිශේෂ ධන භාවයක් ලෙස සැලකෙන 9 වැන්නට ධන කාරක ගුරු පැමිණීම යහපත් වන අතර මෝක්ෂස්ථානය වන 12 අධිපති වශයෙන් ධර්මස්ථානය වූ 9 වැන්නට පැමිණීමෙන් පිනට දහමට යොමුවීම, ආගම ධර්මය කෙරේ කැපවීම නිත්‍ය වශයෙන් සිදු වේ. මේ අනුව ඔබට කිසියම් දියුණුවක් සමගම ලෝකය පිළිබඳ අවබෝධයක් ඇතිවෙමින් ධර්මානුකූල නැඹුරුවක් උදාකර ගනී. ඉතාමත් සර්ව සාධාරණ මාර්ගවලින් ධනය උපයනු ඇත. සෙනසුරු ලග්නාධිපති වශයෙන් 11 නිසා ධනෝපායන මාර්ග තවත් ශක්තිමත් වේ. එහෙත් ඔහු උපයන සපයන ධනය පිනට දහමට පරිත්‍යාගශීලීත්වයට යෙදෙනු ඇත. ගුරු එතරම් හිතකර ග්‍රහයෙක් නොවී 9ට පැමිණීම මත යම් යම් අසහන පීඩා, කනස්සලු‍ ඇති කරයි. යහපතත් සමග අසතුටට හේතු ද පැන නගී.

ඔබේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. විවාහාපේක්ෂකයන්ට යහපත් වේ. සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ශුභාශුභ මිශ්‍රයි. වාතාබාධ, සන්නිගත පීඩා, ‍ලේ ගමනාගමන දෝෂ ඉස්මතු වී වෛද්‍ය උපදේශ මත ක්‍රියා කරන්නට සිදු වේ.

කුම්භ - ප්‍රවේශම් වී කටයුතු කරන්න

ගුරු පැමිණෙනුයේ කේන්ද්‍රයෙහි 8 වැන්නටය. 6, 8 ස්ථාන උපතේදීත්, ගමනේදීත්, නැකතේදීත් බෙහෙවින් නරකය. මේ නිසා  සියලු‍ දුක් පීඩා, අසනීප, ආබාධ, සිත් තැවුල්, කරදර ගැන බෙහෙවින්ම සිතන්නට සිදු වේ. ධනෝපායන මාර්ග, රැකීරක්ෂා වැනි දෑවල දී ඉතාමත් කල්පනාකාරී වී ක්‍රියා කරන්නට සිදුවනු ඇත. කායික, මානසික සතුට ගිලිහීමේ ප්‍රවණතාවක් ඇත. ලංකා ලග්නය ද කුම්භ වේ. ඔබේ ලග්නය ද කුම්භ වේ. ගුරු 8 වැන්නේ ගමන් කිරීම නිසා හැමවිටම කල්පනාකාරීව ක්‍රියා කිරීමෙන්ම අනිටු විපාක මැඬගත යුතුය. බුද්ධිමත් වීමෙන් මෙම විපාක සමනය වේ. කේතු, රාහු ආදීන් පවා 1, 7 ගමන් කරමින් සිටිය දී ගුරු 8 වැන්නේ යෙදීමෙන් සිතන පතන බොහෝ දෑවල අවසානය කනස්සලු‍ සහගත විය හැකි වුවත් ලග්නාධිපති සෙනසුරු උපචය භාවගතව ගමන් කිරීම නිසා සියලු‍ දුක් දොම්නස්වලට අභීතව මුහුණ දී කටයුතු කිරීමට ඔබට හැකියාව ඇත.

ග්‍රහ ගමනට සාපේක්ෂව බලන කල ආතරයිටිස් වැනි පීඩා, කොලෙස්ටරෝල්, උණ රෝග වැනි දෑවලින් වළකින්න. අධ්‍යාපනයෙහි දී ප්‍රමාණවත් සාර්ථකත්වයක් ලබාගැනීමේ ඉඩකඩ පවතී. සමස්තයක් වශයෙන් කුම්භ ලග්න හිමි ඔබට සුබ අසුබ ප්‍රතිඵල මිශ්‍රව ලැබෙන බව පැවසිය යුතුය.

මීන - අභිමතයන් සපලවීම සුබදායකය

බ්‍රහස්පති ලග්නාධිපතිම වෙමින් ඉතා පලදායක ස්ථානයක් වන 7 වැන්නට පැමිණ යහපත ඉස්මතු කරයි. 10 අධිපති ගුරු 10 වැන්නේය. 10 වැන්න හෙවත් 7 වැන්නේ යෙදීම භාවත්භාව සංකල්පය අනුව අභිමාන යෝගය හෙවත් රාජ්‍යත්රාජ යෝගයයි. මෙම අර්ථයන්ට සාපේක්ෂව යස ඉසුරු සම්පත් වරප්‍රසාද බෙහෙවින් ලැබේ. තම අභිලාෂයන් මුදුන්පත් කරගන්නා අවස්ථාවන් යෙදේ. කෙසේ නමුත් අනවශ්‍ය ආකාරයෙන් නුසුදුසු ආඩම්බරකමක් ඇතිකර ගැනීම අවැඩදායකය. මධ්‍යස්ථ මතධාරීව ක්‍රියා කිරීමෙන් හැමවිටම යහපතටම මගපාදාගත හැක.

විවාහාපේක්ෂකයින්ට ඉතා ලෙහෙසියෙන් මංගල යෝග උදා වේ. සහකරු හෝ සහකාරිය සම්බන්ධයෙන් ද ඉතා යහපත් වේ. අධ්‍යාපනයේ නියුක්ත වන්නෝ ඉතාමත් උසස් මට්ටමේ ප්‍රතිඵල ලබමින් කැපී පෙනෙන තත්ත්වයට පත් වේ. ඔබේ කේන්ද්‍රයෙන් චන්ද්‍රයා 1, 3, 6, 9, 11 ආදී ස්ථානයක නම් ප්‍රතිඵල වඩ වඩාත් සශ්‍රීකය. සෞඛ්‍ය තත්ත්වය යහපත් වේ. දූ දරුවන්ට යහපත්ය. සමස්තයක් වශයෙන් බොහෝ සුබදායක ප්‍රතිඵල ලබාගැනීමේ අවකාශය ද මීන ලග්න හිමියාට හිමිවන අතර මුහුණපාන්නට සිදු වී ඇති අයහපත් ප්‍රතිඵලවල නිමාවක් දැකිය හැක.

ප්‍රවීණ ‍ජ්‍යොතිර්වේදී ජී.ඇම්. ගුණපාල

Share this