රටේ භයානක තත්ත්වයක්‌ ඇතිවීමට පෙර ISIS සංවිධානය ශ්‍රී ලංකාවේ තහනම් කළ යුතුයි - බුද්ධි අංශ ප්‍රධානීහු කියති

මුළු ලෝකයටම බරපතළ තර්ජනයක්‌ වෙමින් පවතින අයි. එස්‌. අයි. එස්‌. ත්‍රස්‌ත සංවිධානයේ මෙරට ක්‍රියාකාරකම් ගැන සහ ඊට සම්බන්ධ වී සිටින බව කියන ශ්‍රී ලාංකිකයන් පිළිබඳව සොයා බැලීම සඳහා පොලිසිය ක්‍රමවත් පරීක්‍ෂණයක්‌ මේ වනතුරුත් ආරම්භ කර නොමැති බව බුද්ධි අංශ ප්‍රධානීහු පවසති.

අයි. එස්‌. අයි. එස්‌. සංවිධානය සමඟ සම්බන්ධනා පවත්වන අන්තවාදී අදහස්‌ ඇති මුස්‌ලිම් ජාතිකයන් රැසක්‌ පුත්තලම, අක්‌කරෙපත්තුව, කල්මුණ, අකුරණ, බේරුවල ඇතුළු ප්‍රදේශ ගණනාවක සිටින බවට තොරතුරු ලැබී ඇතත් ඔවුන් පිළිබඳව සොයා බැලීමට කිසිදු විධිමත් පරීක්‍ෂණයක්‌ මේ වනතුරු ක්‍රියාත්මක නොමැති බව එම බුද්ධි අංශ ප්‍රධානීහු කියා සිටිති.

මෙම ත්‍රස්‌ත සංවිධානය සමඟ සම්බන්ධතා පැවැත්වූ මුස්‌ලිම් අන්තවාදීන් 43 දෙනකු සිය පවුල් පිටින්ම සිරියාවට පලාගිය බවට තොරතුරු පසුගියදා අනාවරණය වී තිබේ.

මෙසේ අයි. එස්‌. අයි. එස්‌. සංවිධානය සමඟ එකතුවූ බව කියන අන්තවාදී මුස්‌ලිම් ජාතිකයන් සහ මෙරට සිටින ඔවුන්ගේ පවුල්වල ඥාතීන් පිළිබඳව සොයාබැලීමට, ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට පොලිසිය හෝ බුද්ධි අංශ මේ වනතුරුත් කටයුතු කර නැත. මේ සම්බන්ධයෙන් අදහස්‌ දැක්‌වූ බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු කියා සිටියේ අයි. එස්‌. අයි. එස්‌. සංවිධානයේ මෙරට ක්‍රියාකාරකම් ගැන සොයා බලා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු නොකළහොත් අනාගතයේදී රටට භයානක තත්ත්වයකට මුහුණදීමට ඉඩ ඇති බවයි.

එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

අද ලෝකයේ රටවල් ගණනාවක්‌ අයි. එස්‌. අයි. එස්‌. ත්‍රස්‌ත සංවිධානය තහනම් කර තිබෙනවා. ඒ වගේම එම සංවිධානයේ ක්‍රියාකාරකම් ගැන සොයා බලන්න පුළුල් විමර්ශන ආරම්භ කර තියෙනවා. ශ්‍රී ලංකාවේ අන්තවාදීන් විශාල පිරිසක්‌ මෙම ත්‍රස්‌ත සංවිධානය සමඟ සම්බන්ධ වී සිටින බව පසුගියදා අනාවරණය වුණා. ඒ වගේම ගලේවෙල ප්‍රදේශයේ පදිංචි වී සිටි අන්තවාදී මුස්‌ලිම් ජාතිකයකු මෙම ත්‍රස්‌ත සංවිධානය සමඟ සම්බන්ධ වී සිටියදී ප්‍රහාරයකින් මියගිය බව තහවුරු වී තිබුණා.

අයි. එස්‌. අයි. එස්‌. සංවිධානය ශ්‍රී ලංකාවේ තහනම් කිරීමට රජය කටයුතු කළ යුතුයි. එසේ නොකර මෙම සංවිධානයේ ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරකම් ගැන සොයා බලන්න හෝ ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේදී ගැටලු මතුවෙනවා. යුරෝපයේ රටවල් ගණනාවකට අයි. එස්‌. අයි. එස්‌. ත්‍රස්‌තයන්ගේ තර්ජන එල්ල වී තිබෙනවා. ඇමරිකාව, එංගලන්තය වගේම ආසියාතික රටවලට පවා මෙම ත්‍රස්‌තයන්ගේ තර්ජන දරුණු අන්දමට එල්ල වී තිබෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාවද මේ පිළිබඳව දැඩි අවධානය යොමුකළ යුතු යෑයි එම ජ්‍යෙෂ්ඨ බුද්ධි අංශ නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

එමෙන්ම ශ්‍රී ලංකාවට පැමිණෙන අයි. එස්‌. අයි. එස්‌. ත්‍රස්‌ත සංවිධානයට සම්බන්ධ වූවන් හඳුනාගැනීමට ගුවන් තොටුපළේ කිසිම ආකාරයක පරීක්‍ෂාවක්‌ මේ වනතුරුත් ක්‍රියාත්මක නොවන බවද මෙම නිලධාරියා පැවැසීය.

එමෙන්ම අරාබිකරයේ සංචාරයේ හා මක්‌කම වන්දනාවේ ගිය ඇතමුන් තවමත් ආපසු මෙරටට නොපැමිණි බවත් මේ පිළිබඳවද සොයා බැලීමට මේවනතුරුත් ක්‍රියාකර නොමැති බවත් හෙතෙම කියා සිටියේය.

Share this