'ජාතිවාදීන්' හිරේ දමන පනත ඇන හිටී

ආගමික හා ජාතික අසමගිය ඇති කරන වෛරී ප්‍රකාශ කරන පුද්ගලයන්ට වසර දෙකක සිර දඬුවම් ලබාදීම නීතිගත කිරීම සඳහා පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අපරාධ නඩු විධාන සංග්‍රහය සහ දණ්‌ඩ නීති සංග්‍රහයට අදාළ සංශෝධන පනත් කෙටුම්පත් නියම කළ 08 වැනිදා විවාදයට නොගන්නා බව සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (17 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මෙම පනත් කෙටුම්පත් පිළිබඳව රට තුළ විරෝධතාවක්‌ මතුව ඇති නිසා ඒවා ඉල්ලා අස්‌කර ගන්නැයි සිවිල් සංවිධාන 22 ක්‌ සහ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ඉල්ලා ඇති බවට එජනිස මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශයක්‌ කළ අවස්‌ථාවේදී සභානායකවරයා ඉහත ප්‍රකාශය කළේය.

මේ පිළිබඳ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කතා කළ බවද එකී පනත් කෙටුම්පත් දෙක ජනවාරි මාසයේදී ඉදිරිපත් නොකරන බව දැනුම් දෙන්නැයි අගමැතිවරයා උපදෙස්‌ දුන් බවද සභානායකවරයා කීවේය.

මෙම පනත් කෙටුම්පත් දෙක අහෝසි කළ නොහැකිදැයි දිනේෂ් ගුණවර්ධන මහතා විමසා සිටියදී සභානායකවරයා ප්‍රකාශ කළේ ඒ ගැන තමන් සාකච්ඡා කරමින් සිටින බවයි.

භාෂිත, ලිත හෝ කියවීමට අදහස්‌ කරනු ලැබූ වචනයෙන් හෝ සංඥවලින් හෝ දැකිය හැකි නිරූපණවලින් හෝ අන්‍යාකාරයෙන් ජන කොටස්‌ අතර හෝ වෙනත් පන්තිවල තැනැත්තන් අතර හෝ වෙනස්‌ වාර්ගික හෝ ආගමික කණ්‌ඩායම් අතර දරුණු ක්‍රියා හෝ ආගමික, වාර්ගික හෝ ජාතික අසමගිය හෝ අසන්තෝෂය හෝ සතුරු බව ඇති කරන හෝ තැත් කරන නැතහොත් ඊට පොලඹවන හෝ තැත් කරන යමෙකුට දඬුවම් නියම කිරීම වෙනුවෙන් මෙම පනත් දෙක සංශෝධනය කර ඇත.

එසේම එවන් වරදකට වරදකරු වන තැනැත්තෙකුට හෝ කණ්‌ඩායමකට අවුරුදු දෙකක බරපතළ වැඩ සහිත හෝ රහිත සිරදඬුවමක්‌ යන දෙයාකාරයෙන් එක්‌ ආකාරයකට බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් කරනු ලැබිය යුතුයි යනුවෙන්ද මෙම සංශෝධනයේ දක්‌වා ඇත. 

Share this