හිරුණිකාගේ ඩිෆෙන්ඩරයෙන් පැමිණි පිරිසක් තරුණයෙකු පැහැරගෙන පහරදීලා

කවුරුත් ඔහුට පහරදුන්නේ නැහැ.
මම මේ ප‍්‍රශ්නය විසඳුවා - හිරුණිකා කියයි

එක්සත් ජාතික පෙරමුණේ කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියට අයත් ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් කෙළොන්නාව ප‍්‍රදේශයේ තරුණයකු ඊයේ (21) පැහැරගෙන ගොස් පහරදී නැවත මග දමා ගොස් සිටිය දී ‍පොලිසිය විසින් සොයාගන්නා ලද බව ‍පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර ‍පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

ඔහු දෙමටගොඩ ගුවන් පාලම අසල රෙදි අලෙවිසලක සේවය කරන අතර ඊයේ ස්වරු 2.25ට පමණ එම අලෙවිසලට කඩා වැදුණු පුද්ගලයින් හයදෙනකු ඔහුට පහරදී ඩිෆෙන්ඩර රථයක බලෙන් නංවාගෙන ගොස් තිබේ.

මෙම පැහැරගෙන යාම සම්බන්ධයෙන් දෙමටගොඩ ‍පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර පැහැරගත් ඩිෆෙන්ඩර් රථයේ අංක තහඩු පිළිබඳ සී.සී.ටී.වී. දර්ශන මාර්ගයෙන් හෙළිකර ගැනීමට ‍පොලිසියට හැකිවී තිබේ.

අංක 62-1859 දරණ එම ඩිෆෙන්ඩර් රථය පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියගේ නමට ලියාපදිංචි කර ඇති බව හෙළිවීමෙන් පසු ඒ ඔස්සේ විමර්ශන කළ බව ‍පොලිසිය පැවසීය.

‍පොලිස් විමර්ශන නිලධාරීන් හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියට මේ පිළිබඳව දන්වා තිබුණේ ඒ අනුවයි.

මෙවැනි සිද්ධියක් ගැන තමා දැනුවත් වී නොමැති බවත් එවැනි දෙයක් සිදුව ඇත්නම් අදාළ තරුණයා නැවත එවීමට කටයුතු කරන බවත් ඇය ‍පොලිසියට දැනුම් දුන් බව උසස් ‍පොලිස් නිලධාරියෙක් පැවසීය.

කෙසේ වෙතත් ඊයේ රාත‍්‍රී 8.30ට පමණ පැහැරගැනීමට ලක් වූ තරුණයා මහමග දමා ගොස් තිබේ.

පසුව එම තරුණයා දෙමටගොඩ ‍පොලිස් ස්ථානයට පැමිණ ඇති අතර ඔහු පවසා ඇත්තේ තමාට අදාළ පිරිස හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියට අයත් කොළොන්නාවේ පක්ෂ කාර්යාලයකට ගෙන ගොස් පහරදුන් බවයි.

තමා හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියගේ ප‍්‍රබල ආධාරකරුවකුගේ බිරිඳ සමග සබඳතාවක් මාස හයක සිට පැවැත්වූ බවත් ඇයගේ කැමැත්තෙන් ඔහු සමග එකට විසීමට පැමිණි බව ද ඔහු දෙමටගොඩ ‍පොලිසියට කටඋත්තරයක් දී තිබේ.

අදාළ කාන්තාවගේ වයස අවු. 34ක් වන බව ද එම තරුණයා ‍පොලිසිය හමුවේ කළ පැමිණිල්‍ලේ සඳහන් වේ.

පහරකෑමට ලක් වූ මෙම තරුණයා ඊයේ රාත‍්‍රියේම කොළඹ ජාතික රෝහලට ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.
කෙසේ වෙතත් ‍පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර ‍පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම හෝ ඩිෆෙන්ඩර් රථය ‍පොලිස් භාරයට ගැනීමක් සිදුකර නැති බවය.

දෙමටගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානධිපති ප‍්‍රධාන ‍පොලිස් පරීක්ෂක අනුරාධ මහින්දසිරි මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත මේ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු කෙරේ.

මේ සම්බන්ධයෙන් කළ විමසුමක දී පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය සඳහන් කළේ තමාගේ ආධාරකරුවකු සහ මෙම තරුණයා අතර ඇති වූ පෞද්ගලික ආරවුලක් මත මෙවැනි සිද්ධියක් වූ බවයි.

පහරකෑමට ලක් වූ බව කියන තරුණයා තමාගේ ආධාරකරුවකුගේ බිරිඳ බලහත්කාරයෙන් ගෙන ගොස් ඇති බවත් එම ආධාරකරු තම දරු දෙදෙනා ද රැුගෙන තමා වෙත පැමිණ ඒ පිළිබඳ පැවසූ බව ද හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.
පසුව එම දරු දෙදෙනා ද එම ආධාරකරු ද තමාගේ වාහනයේ නංවාගෙන අදාළ තරුණයා සේවය කරන රෙදි වෙළෙඳසල වෙත යැවූ බව ඇය සඳහන් කළාය.

මේ තරුණයාට මගේ කට්ටිය ගිහින් එළියට එන්න කියලා තියෙනවා. ඒත් ඔහු ඇවිත් නැහැ. පස්සේ අපේ අය මේ තරුණයාව මගේ කාර්යාලයට ගෙන ආවා. කවුරුත් ඔහුට පහරදුන්නේ නැහැ. අන්තිමට ඔහු ගෙන ගිය කාන්තාව නැවත මගේ ආධාරකරුට භාර දීලා. මම මේ ප‍්‍රශ්නය විසඳුවා යැයි ද ඇය පැවසුවාය.

මෙම සිද්ධියට අදාළව තමා අද (22) තම නීතිඥවරයා සමග නීතිමය කටයුතු සිදු කරන බව ද මන්ත‍්‍රීවරිය පැවසුවාය.

Share this