ගෝඨාට එරෙහි සාක්කි ප‍්‍රබලයි - අත්අඩංගුවට ගත හැකියි - අතිරේක සොලිසිටර් ජනරාල්

නීති විරෝධී ලෙස ශ‍්‍රී ලංකාවට ගිනි අවි ආනයනය, වලංගු බලපත‍්‍ර නොමැතිව ගිනි අවි හා උණ්ඩ ළග තබා ගැනීම, එම වැරදි කිරීමට කුමන්ත‍්‍රණය කිරීම හා ආධාර අනුබල දීම යටතේ ඇවන්ගාඞ් සභාපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඇතුළු පස් දෙනකුට එරෙහිව නඩු පැවරීමට සාධාරණ කරුණු ඇතැයි අතිරේක සෝලිසිටර් ජනරාල් වසන්ත නවරත්න බණ්ඩාර මහතා නීතිපතිට වාර්තාවක් මගින් නිර්දේශ කර ඇත.

ඇවන්ගාඞ් මැරිටයිම් සර්විසස් සමාගමේ සභාපති නිශ්ශංඛ සේනාධිපති, එහි අධ්‍යක්ෂ මංජුල කුමාර යාපා, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඞී එම් එස් ජයරත්න මහත්මිය සහ රක්නා ලංකා සමාගමේ හමුදා සම්බන්ධීකරණ අධ්‍යක්ෂ විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දුට එරෙහිව නඩු පැවරීම සඳහා බැලූ බැල්මට ශක්තිමත් සාක්කි ඇති බව නවරත්න මහතාගේ වාර්තාවේ දැක්වේ.

ඇවන්ගාඞ් අවි ගබඩාව සම්බන්ධයෙන් රහස් පොලිසියේ පරීක්ෂණ ගොනුව අධ්‍යයනය කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා තම නිර්දේශ සහිත වාර්තාව නීතිපතිට බාර දී ඇත.

ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත, ගිනි අවි ආඥා පනත, පුපුරණ ද‍්‍රව්‍ය ආඥා පනත යටතේ එම පස් දෙනාට එරෙවි නඩු පැවරිය හැකි බව බණ්ඩාර මහතා සඳහන් කරයි.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ අපරාධ මගින් උපයාගන්නා කළු සල්ලි නීත්‍යනුකූල කිරීම සඳහා නීත්‍යනුකූල ව්‍යපාරයන්හි යෙදීම සම්බන්ධයෙන් ද මෙම පිරිසට එරෙහිව වත්කම් සොයා ගත් ආකාරය ගැන පරීක්ෂණ පවත්වන ලෙස ද අතිරේක සොලිස්ටර් ජනරාල් නිර්දේශ කර ඇත.

මෙම පස්දෙනාට එරෙහිව ප‍්‍රභල සාක්කි ඇති බව තමාගේ මතය හෙයින් තම නිර්දේශ සමග එකග වන්නේ නම් ඔවුන් අත්අඩංගුවට ගෙන මහේස්ත‍්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට උපදෙස් දෙන ලෙස ද වසන්ත නවරත්න බණ්ඩාර මහතා නිදේශ කර තිබේ.

ඇවන්ගාඞ් මැරිටයිම් සර්විසස් සමාගමේ නීත්‍යනුකූල නොවන බව කියන පාවෙන අවි නැව් ව්‍යපාර හා එම අවි හා උණ්ඩ ගබඩා කර ඇති ගබඩා තහනම් කර ඒවායේ භාරකාරත්වය ශ‍්‍රී ලංකා නාවික හමුදාවට පවරා වාණිජ නැව්වලට ආරක්ෂාව සැපයීම සඳහා අවි හා උණ්ඩ සැපයීමේ ව්‍යාපාරය දිගටම ගෙන යන ලෙස නාවික හමුදාවට පවරන ලෙස ද අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා නිර්දේශ කර ඇත.

ගාලූ වාරායේ නැංගුරම්ලා ඇති මහනුවර නැවේ නීත්‍යනුකූල නොවන අවි හා උණ්ඩ තිබූ බව රහස් පොලිසිය දැන්වීයැයි ඔහු සඳහන් කරයි.

ඒ ගැන සෝදිසි කරද්දී ඒකේ 47, රයිෆල් හා වෙනත් යුද අවි ආයුධ 3000කට වැඩි ප‍්‍රමාණයක් ද, වෙඩි උණ්ඩ හත් ලක්ෂයක් ද තිබූ බවත්, නැවේ නීත්‍යනුකූල අයිතිකරු වන ලංකා ශිපිං සමාගම එම නැව ඇවන්ගාඞ් සමාගමට බදු දී ඇති බවත්, එම අවිවල අයිතිය භාරකාරත්වය හා පාලනය මුළුමනින්ම ඇවන්ගාඞ් සමාගම සතු බවත් රහස් පොලිසිය හා රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව ඒවා ගණන් ගැනීමේ ක‍්‍රියාවලියක යෙදී සිටි බවත් නවරත්න මහතා සඳහන් කර තිබේ.

Source - ලංකාදීප

Share this