අපෙන් සමුගත් කලාකරුවන් වෙනුවෙන් පිදෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම ඒක පුද්ගල ගී සැඳෑව

රසික හදවත් සැමදා දිනා ගනු ලැබූ අසහාය ගායන ශිල්පියෙකු වන කීර්ති පැස්කුවල් මහතා මේ දවස්වල අලූත්ම තාලේ වැඩකට සූදානම් වෙනවා කියලා සිරසගොසිප් වෙබ් අඩවියට වාර්තා වුණා. සිද්ධිය වාර්තා වූ ආකාරයට නම් වසර ගණනාවකට පසුව අලූත්ම තාලයේ ගීත සංගත තැටියක් සහ රූප තැටියක් නිකුත් කිරීමට තමයි සූදානම. මේ සඳහා කීර්ති පැස්කුවල් මහතා ඒක පුද්ගල ගී ප‍්‍රසංගයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ටි‍්‍රබියුට් ටු ද ලෙජන්ඩිස් ලෙස නම් කර ඇති මෙම ප්‍රසංගය ජුලි මස 11 වනදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී සවස 7ට පැවැත්වීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් ඔහුගේ වචනවලින්ම කියනවා නම් මෙසේයි. 

මාගේ ආත්මීය ජීවිතයත්, වෘත්තිමය ජීවිතයත්, දිගු කලෙක පටන් බැදී පවතින්නේ සංගීතය මතයි. සංගීතයෙන් තොර ජීවිතයක් මට නැති තරම්. මාගේ හැකියාවන් මා තුල රැදී පවතින තුරා සංගීතය වෙනුවෙන් කල හැකි උපරිමය කිරීම තමයි මාගේ එකම අභිලාසය. එළැඹෙන සෑම වසරකම මාගේ ගීත ප‍්‍රසංගයක් හෝ නවතම ගීත ඇල්බමයක් රසිකයනට පිරිනැමීමට මා කාලයක සිටම කටයුතු කලා. ඒ අනුව මෙම වසරේ මාගේ දයාබර රසිකයනට වෙනත්ම ආකාරයේ සංගීත රසවින්දනයක් ලබා දීමට මා තීරණය කලා. ඇත්තටම මෙය සංගීතමය පිංකමක් කීවොත් නිවැරදියි.

මෙවන්වූ තීරණයක් ගැනීමට වඩාත්ම හේතුවූයේ, එක්තරා රූපවාහිනී නාළිකාවක මා සහභාගීවූ සංගීතමය වැඩසටහනකින් අනතුරුව මා ලද අසීමිත රසික ප‍්‍රතිචාරයයි. එය මට අළුත් අත් දැකීමක් නොවුනත්, ඒ ලද ප‍්‍රතිචාරය කිසිසේත්ම මනසින් බැහැර කිරීමේ හැකියාවක් තිබුනේ නෑ.

ඒ අනුව තමයි තීරණය කලේ, අපගේ හෙළ සංගීත ක්ෂේත‍්‍රයට අමිල මෙහෙවරක් කර, සදා නොමියන ගී සමුදායක් ශේෂකර අප අතරින් නික්ම ගිය ඒ ප‍්‍රවීණ ගායක කලාකරුවණට ගී උපහාරයක්ම වෙනු පිණිස, ඔවුන් සමරා, ඔවුන් වෙනුවෙන්ම උපහාර ගී ප‍්‍රසංගයක් මාගේ හඩින්ම පැවැත්වීමට. කන්ඩායම් සංගීතය හරහා අද මෙතනට පැමිණි මා, මුල් යුගයේදී ගැයූවේම වෙනත් ගායන ශිල්පීන්ගේ ගීතමයි. එය මට මනා පිටුවහලක් වුනා, මෙවන් අභියෝගයක් ජයගැනීමට.


 මේ ගීත ගැයීම සඳහා ඊට අදාල පාර්ශවයන් බොහෝම කැමැත්තෙන් මේ සඳහා ආශිර්වාදාත්මකව අවසර ලබාදුන්නා. ඉන් පසුව තමයි සියල්ල සංවිධානය කලේ. මෙහිදී අපගෙන් වියෝවූ ගායන ශිල්පීන් පමණක් නොව එලෙසම වෙන්ව ගිය ප‍්‍රවීණ සංගීතවේදීන් හා ගීත නිබන්ධකයින්ද, අනුස්මරණය කිරීමක් මින් සිදු වෙනවා. ඒ අනුව තමයි අප අතරින් වෙන්ව ගිය ප‍්‍රවීණ ශිල්පීන් 25කු ගැයූ ගී මගේම හඩින් රසිකයන් වෙත පුදනු ලබන්නේ. මා විශ්වාස කරන ආකාරයට මෙවන් ප‍්‍රසංගයක් පවත්වනු ලබන පලමු අවස්ථාව මෙය වන බවයි. මෙහිදී මෙම ජනප‍්‍රිය ගායන කළා කරුවන්ගේ ගීත ගැයීමට මා සූදානමින් සිටිනවා.

* එච්. ආර්. ජෝතිපාල         * මිල්ටන් මල්ලව ආරච්චි * ටී. ෂෙල්ටන් පෙරේරා
* ජේ. ඒ. මිල්ටන් පෙරේරා * ක්ලැරන්ස් විජේවර්ධන * මර්වින් පෙරේරා
* මොහිදීන් බෙග්         * ධර්මදාස වල්පොල * හරුන් කුමාර් ලන්ත‍්‍රා
* සිසිර සේනාරත්න         * එම්. එස්. ප‍්‍රනාන්දු * ගේ‍්‍රෂන් ආනන්ද
* නෙවිල් ප‍්‍රනාන්දු         * රුක්මණී දේවි * සුසිල් පේ‍්‍රමරත්න
* සී. ටී. ප‍්‍රනාන්දු         * සිඩිනි ආටිගල         * තිලකසිරි ප‍්‍රනාන්දු
* සුනිල් ශාන්ත         * නාරද දිසාසේකර * ස්ටැන්ලි පීරිස්
* මාලිනි බුලත්සිංහල         * පද්මසිරි පැස්කුවල්

ඒ වගේම මෙම ප‍්‍රසංගයට සමගාමීව මගේ නවතම ගීත රැගත්, ‘සුදු සේල’ ගීත ඇල්බමයත් කීර්ති එකෝස්ටිකා සංගීත ප‍්‍රසංගයේ (20 ජූලි 2014) රූගත තැටියත් නිකුත් කිරීමට නියමිතයි. මගේ නවතම ගීත එකතුවක් නිකුත් වන්නේ වසර දෙකකට පසුවයි. මෙම ගීත එකතුව විශේෂයි. මා මින් පෙර ගායනා නොකල ආකාරයේ සංගීත ශෛලින් හා විවිධ තේමාවත් ඔස්සේ ගැයූ ගීත මෙයට ඇතුලත් වෙනවා. මෙහි ගී තනු නිර්මාණයේදී මා සමඟ මහින්ද බණ්ඩාර, පද්මසිරි පැස්කුවල්, විශාරද උපුල් පෙරේරා, ලක්‍ෂ්මන් හිල්මි, ලලිත් කුමාර, අනුර විජේසිංහ, රධීෂ් වැන්දබෝනා, අරුණ ගුණවර්ධන යන සංගීතවේදීන් දායක වුනා. ගී පද රචනයෙන් කැළුම් ශ‍්‍රී මාල්, ඇන්ටන් ජේ. ප‍්‍රනාන්දු, උපුල් පෙරේරා, ලලිත් කුමාර, ජෝර්ජ් රොබ්සන් ද සිල්වා, නන්දන වික‍්‍රමගේ, ධනුෂ්ක ප‍්‍රනාන්දු හා නෙවිල් ප‍්‍රනාන්දු සම්බන්ධ වුණා. යුග ගායනයෙන් සමිතා එරන්දනී මුදුන් කොටුව සහ අශේන්ද්‍රි වික‍්‍රමසිංහ සහය වූවා.








Share this