කූඩැල්ලන් මැද අපූරු පෙම් රැඟුම්...

කූඩැල්ලන්ගෙන් පිරුණු වනයක පැය කිහිපයක් ම ගත කරන්න බොලිවුඩයේ සුපිරි නිළියකටත් නළුවෙකුටත් පසුගියදා සිදුවුණා. ඒ ‘අලෝන්’ නම්වූ අලුත්ම බොලිවුඩ් චිත්‍රපටයේ රූගත කිරීමකදීයි. භූෂාන් පටේල් අධ්‍යක්ෂණය කරන මේ චිත්‍රපටයේ ප්‍රධාන නළු නිළි යුවළ තමයි, බිපාෂා බාසු සහ කරන් සිං ග්‍රෝවර් (නළුවෙකු, නිරූපණ ශිල්පියෙකු සහ චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වන කරන් සිං ග්‍රෝවර්, සිනමා ලොවට එක්වුණේ 2004 දී යි) අනුරාගය සහ ත්‍රාසය කැටි වූ නිර්මාණයක් වන ‘අලෝන්’ චිත්‍රපටයේ ගීතමය ජවනිකාවක් රූගත කරන්නට නියමිතව තිබුණා. තිරනාටකය අනුව මේ දර්ශනය රූගත කළ යුතුව තිබුණේ වනගත පෙදෙසකයි. අනුරාගය නොඅඩුව එක්වී තිබුණු මේ දර්ශනයේ බිපාෂාට අඳින්නට සිදුවුණේ බිකිනියක්. (කාන්තා පිහිනුම් ඇඳුමක්) මෙවැනි ඇඳුමක් ඇඟලා ගත් විට සි‍රුරෙන් වැඩි කොටසක් ම නිරාවරණය වන බව අමුතුවෙන් කිව යුතු නැහැ. කූඩලු ගහනයක් මැද්දේ ඒ අයුරෙන් රඟපාන විට ඇතිවන අනාරක්ෂිත බව කාටත් සිතාගත හැකියි. බිපාෂා මේ රූගත කිරීමට හොඳටම බිය වුණා. ඇය ඒ මොහොත සිහිපත් කළේ මෙන්න මෙහෙමයි...

“මම ඒ වෙලාවෙ ඇඳල හිටියෙ සුදුපාට බිකිනියක්. සෙරෙප්පු දෙකක්වත් දාගෙන හිටියෙ නැහැ. ඔන්න දැන් දර්ශනය රූගත කරන්න යනවා. අධ්‍යක්ෂවරයා ‘ඇක්ෂන්’ කියල කිව්වා. මට පේනවා කැමරා ශිල්පියාගේ සහායට ඉන්න අයගෙන් දෙතුන් දෙනෙකුගේ කකුල් වලින් ටික ටික ලේ ගලනවා. ඒ කූඩැල්ලො කාපු නිසයි. මම දැන් බයේ ගැහෙනවා. ඒත් කරන්ට නම් ගානක් නැහැ. මොනව කරන්නද? මම හිතෙන් දෙවියන් සිහි කර කර මේ ප්‍රේම ජවනිකාව රඟපෑවා. ඒ දර්ශනවල මම හොඳට රඟපෑවද මන්දා. කොහොම හරි රඟපාල ඉවර වුණ හැටියෙම ඉක්මනටම මගේ කැන්වස් සපත්තු දෙක දාගත්තා. වාසනාවට මාව කූඩැල්ලො කෑවෙ නැහැ.”

බිපාෂා බියෙන් සැකෙන් එලෙස රඟපෑවත්, අධ්‍යක්ෂවරයා ඇතුළු එහි සිටි හැමෝම කීවේ ඒ ප්‍රේමාලිංගන දර්ශන පෙළ අපූරුවට නිරූපණය වූ බවකි.

Share this