කළුබෝවිල රෝහලේ වෛද්‍යවරියක්‌ එල්ලී දිවි නසාගනී

කළුබෝවිල මහ රෝහලේ වෛද්‍යවරියක තලංගම කලල්ගොඩ සිය නිවසේ කාමරයක විදුලි පංකාවක ගැටගැසූ නයිලෝන් ලණුවක එල්ලී දිවි නසාගෙන ඇතැයි තලංගම පොලිසිය පවසනවා. 

පෙරේදා (30 වැනිදා) රාත්‍රි මෙලෙස දිවි නසාගෙන ඇත්තේ තලංගම, කලල්ගොඩ, වීර මාවතේ පදිංචිව සිටි කලනි බුද්ධිමා ජයසිංහ නමැති 36 හැවිරිදි වෛද්‍යවරියකි. ඇයට මාස 7 හා අවුරුදු 4 වයසේ පසුවන පුතුන් දෙදෙනකු සිටින බව ද පොලිසිය කියයි.

මෙම වෛද්‍යවරියගේ සැමියා ද කළුබෝවිල මහ රෝහලේ වෛද්‍යවරයකු ලෙස සේවය කරයි. ඇය අවසන් වරට ලියන ලද ලිපියක්‌ හමුවී ඇතැයි ද එම ලිපියේ "දරු ප්‍රසූතියෙන් පසු ඇතිවන ප්‍රසව ආතතිය නිසා තවදුරටත් විඳ දරාගත නොහැකිය" යනුවෙන් සඳහන් වී තිබූ බව ද පොලිසිය කියයි.

කලල්ගොඩ නිවස වසා දමා මෙම වෛද්‍යවරිය, ඇගේ සැමියා හා දරු දෙදෙනා සමඟ වැඩි වශයෙන්ම සිට ඇත්තේ ගම්පහ මවගේ නිවසේය. සිද්ධිය වූ පෙරේදා මෙම වෛද්‍යවරිය රෝහලේ සේවය කර දහවල් 1.35 ට පමණ තලවතුගොඩ නිවසට යන බව සිය සැමියාට එස්‌. එම්. එස්‌. පණිවුඩයක්‌ මගින් දැනුම් දී ඇත. සිය බිරිඳ ගම්පහ මහ ගෙදරට එන්නට රෑ බෝවීම ගැන සැක සිතූ එම වෛද්‍යවරයා කලල්ගොඩ නිවසට ගොස්‌ තිබේ. නිවසේ දොර ඇර කාමරයට ගොස්‌ බැලීමේදී බිරිඳ විදුලි පංකාවේ එල්ලී සිටිනු දුටු ඔහු මේ ගැන ප්‍රදේශවාසීන්ට හා පොලිසියට දැනුම් දී තිබේ.

කඩුවෙල වැඩබලන මහෙස්‌ත්‍රාත්වරයා සිද්ධිය වූ ස්‌ථානයට පැමිණ මූලික මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය පැවැත්වීය. දිවි නසාගත් වෛද්‍යවරියගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය ඊයේ (01 වැනිදා) කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේදී සිදුකිරීමට නියමිතව තිබිණි.

මේ පිළිබඳව තලංගම පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ජනක කුමාර මහතාගේ උපදෙස්‌ මත උප පොලිස්‌ පරීක්‍ෂක නවරත්න, පොලිස්‌ සැරයන් සුනිල් (51361) යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.

Share this