67 වැනි නිදහස්‌ සමරුව අද

67 වැනි ජාතික නිදහස් දින සැමරුම අදට යෙදී තිබෙනවා. ඒ නිමිත්තෙන් වන ජාතික උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04 දා) ශ්‍රී ජයවර්ධනපුර කෝට්‌ටේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී අභිමානවත් ලෙස පැවැත්වේ.

"පිරිපුන් මව්බිමක්‌ අභිමන් හෙටක්‌" යන තේමාව යටතේ පැවැත්වෙන මෙම ජාතික නිදහස්‌ දින උත්සවය පෙරවරු 8.00 ට ආරම්භ කෙරේ.

ආචාර පෙළපාලිය සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්‍ෂක සහ ජාතික ශිෂ්‍ය භට බළකාය නියෝජනය කරමින් 5922 ක පිරිසක්‌ සහභාගි වනු ඇත. සංස්‌කෘතික සංදර්ශනය සඳහා නර්තන ශිල්පීහු 600 ක්‌ සහ ජාතික ගීය ගායනය සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 100 ක්‌ පමණ සහභාගි වෙති. නිදහස්‌ දින ජාතික උත්සවයට විදෙස්‌ තානාපතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක්‌ සහභාගිවීමට නියමිතය.

මෙවර නිදහස්‌ දින උත්සවය පසුගිය රජය විසින් වීරකැටිය ප්‍රදේශයේ පැවැත්වීමට සූදානම් කර තිබිණි. වියදම් අවම කරගැනීම ඇතුළු කරුණු කිහිපයක්‌ සැලකිල්ලට ගනිමින් එය අභිමානවත් සහ ගාම්භීර ලෙස ඓතිහාසික කෝට්‌ටේදී පැවැත්වීමට වත්මන් රජය තීරණය කළේය. මීට සමගාමීව දිවයිනේ බොහෝ ප්‍රදේශවල නිදහස්‌ දින ජාතික උත්සව සැමරීමට කටයුතු යොදා ඇත.

Share this