තෙවරප්පෙරුම අත්අඩංගුවේ - දිමුගේ පුතා උසාවියේ

මතුගම, අගලවත්ත නගරයේදී සන්ධාන මන්ත‍්‍රීවරයෙකු දණ ගැස්වීමේ චෝදනා ලබා සිටින එජාප මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර මන්ත‍්‍රීවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට අද පෙරවරුවේ බාරවීමෙන් පසු ප‍්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

මේ අතර ගම්පොළ නගරයේ ඉදිකර තිබූ එවකට පොදු අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ දේශපාලන පක්ෂ කාර්යාලයකට හානි කිරීමේ චෝදනා ලබා සිටින හිටපු අගැමතිවරයාගේ පුත් අනුරාධ ලංකා ජයරත්න ගම්පොළ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත්ව ඇත.

ඔහු සමග උඩපළාත ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරයෙක්, ගම්පොළ නගර සභාවේ මන්ත‍්‍රීවරයෙක් හා ප‍්‍රභූ ආරක්ෂක නිලධාරියෙක් ද උසාවියට බාරවී තිබේ.

සැකකරුවන්ට මීට පෙර උසාවියට බාරවන ලෙසට නියෝග නිකුත් කර තිබූ නමුත් ඔවුන් උසාවියට බාරනොවීම නිසා ගම්පොළ මහෙස්ත‍්‍රාත් උපුල් රාජකරුණා මහතා විදේශ ගමන් තහනම් කරමින් පසුගියදා නියෝගයක් නිකුත් කරන ලදී.

ඉකුත් දෙසැම්බර් 31 වැනි දින රාත‍්‍රියේ ඩිෆෙන්ඩර් රථ ඇතුළු වාහන 7 කින් 20කට අධික පිරිසක් පැමිණ ගම්පොළ - නුවර පාරේ පිහිටි එම කාර්යාලයට පහරදී ගිනි තැබීමට උත්සාහ දරා ඇතැයි ගම්පොළ පොලිසියට පැමිණිලි කර තිබිණ. 

Share this