දස වසකට පසු පාර්ලිමේන්තුවේ වෙනස මෙන්න

දිමු පසුපෙළ අසුනක - විමල් සම්බන්ධන් අතේ දුරින් - නාමල් ඇවිත් යයි


2015 වසර සඳහා පාර්ලිමේන්තුව පළමු වරට අද (20) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ද සහභාගීත්වයෙන් රැස් වුණා. ඒ 2004 වසරෙන් පසු ආණ්ඩු පෙරළියක්ද සමගින්. එබැවින් වසර 10ට පමණ පසු පාර්ලිමේන්තුවේ පැහැදිලි වෙනසක් දක්නට ලැබුණා. මේ වනවිට මන්ත්‍රීවරුන් කිහිප පොළක්ම දිවයිනෙන් බැවැරව සිටිනවා. ඔවුන්ට අමතරව තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් පාර්ලිමේන්තුවට පැමිණ නොසිටියද බහුතරයක් මන්ත්‍රීවරුන් දක්නට ලැබුණා.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගෙන් ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ පිරී තිබුණේ මෙලෙසින්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා (18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව අගමැතිවරයාගේ දකුණු පසින් ජනාධිපතිවරයා වෙත පනවා ඇති අසුන) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, කරූ ජයසූරිය, ජෝෂප් මයිකල් පෙරේරා, ගාමිණී ජයවික්‍රම පෙරේරා, ජෝන් අමරතුංග, සජිත් ප්‍රේමදාස, ගයන්ත කරුණාතිලක, මංගල සමරවීර යන පසුගිය සභාවාරයේ විපක්ෂයේ අසුන්ගෙන සිටි මන්ත්‍රීවරුන් වූවා.

ඊට අමතරව රාජිත සේනාරත්න, චම්පික රණවක, දුමින්ද දිසානායක, නවීන් දිසානායක, රාවුෆ් හකීම්, සහ රිෂාඩ් බදියුදීන් යන පසුගිය ආණ්ඩුවේ ආණ්ඩුපක්ෂය නියෝජනය කළ ඇමතිවරුන් සිටියා. පුජ්‍ය අතුරලියේ රතන හිමියන්ටද ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ අසුනක් හිමිව තිබෙනවා. ඉදිරි පෙළ අසුන් 25න් කිහිපයක් අද දිනයේ හිස්ව තිබෙන අයුරුද දක්නට ලැබුණා.

විපක්ෂයේ ඉදිරිපෙළ අසුන්  විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, රත්නසිරි වික්‍රමනායක, දි.මු ජයරත්න, එස්.බී දිසානායක, සුමේධා ජයසේන, ජෝන් සෙනෙවිරත්න, පී. දයාරත්න මහත්ම මහත්මීන් වෙනුවෙන් වෙන් කොට තිබෙණු දක්නට ලැබුණා. ඊට අමතරව පක්ෂනායකයින් සහ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් වෙතද ඉදිරිපෙළ අසුන් පනවා තිබුණා.

එම අසුන් හිමිව තිබුණේ ආරුමුගම් තොන්ඩමන්, ඩග්ලස් දේවානන්දා, ඒ.එල්.එම් අතාවුල්ලා, තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, ආර්, සම්බන්ධන්, සෙල්වම් අඩේකලනාදන්, මාවෙයි සේනාධිරාජා, අනුර කුමාර දිසානායක, විජිත හේරත් යන මන්ත්‍රීවරුන්ටයි.

හිටපු අගමැති දි.මු ජයරත්න මහතාට විපක්ෂයේ ඉදිරි පෙළ අසුනක් හිමිව තිබුණද ඔහු වැඩි වේලාවක් අසුන්ගෙන සිටිනු දුටුවේ පසුපෙළ අසුනකයි. පසුගිය ආණ්ඩුවේ ප්‍රභල චරිතයක් වූ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාද පාර්ලිමේන්තුවට පැමිණ ටික වේලාවකින් ආපසු යනු දක්නට ලැබුණා.

පසුගිය කාලයේ දිගින් දිගටම විමල් වීරවංශ මහතාගේ දැඩි විවේචනයට ලක්වූ දෙමළ ජාතික සංධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාට වීරවංශ මහතාගේ අතේ දුරින් අසුන් පනවා තිබෙනුද දක්න දක්නට ලැබුණා. ඔවුන් දෙදෙනා අතර අසුන හිමිව තිබුණේ හිටපු ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා ඇමති වාසුදේව නානායක්කාර මහතාටයි.







Share this