ඩිවිලියර්ස්‌ගේ වේගයට අෆ්රිඩී අභියෝග කරයි

ලෝක එක්‌දින වංශ කතාවේ මේ ගෙවී යන්නේ 45 වැනි වියයි. ක්‍රිකට්‌ ක්‍රීඩාව නව්‍යකරණය වෙනුවෙන් ඔස්‌ට්‍රේලියාව විසින් සිදුකරන ලද අත්හදා බැලීමක සාර්ථක ප්‍රතිඵලයක්‌ ලෙස එක්‌දින ක්‍රිකට්‌ ක්‍රීඩාව මෙලොවට බිහිවන්නේ 1971 වසරේ ජනවාරි 05 වැනිදාය. සුදු ඇඳුම, රතු පන්දුව සහ එක්‌ පිලකට පන්දුවාර 60 බැගින්ව ආරම්භ වූ එක්‌දින ක්‍රීඩාව මේ වන විට වර්ණ ඇඳුම්, සුදු පන්දුව සහ දිවා/රාත්‍රී තරග වශයෙන් පවත්වමින් වැඩි වියට පැමිණ තිබේ.

එසේ වැඩි වියට පත්වෙමින් ලොව පුරා විසිරී සිටින ක්‍රිකට්‌ රසිකයන් අමන්දානන්දයට පත් කරමින් පැවැත්වෙන එක්‌දින ක්‍රිකට්‌ ක්‍රීඩාව එදා මෙදා තුර බිහිවී ඇති වාර්තාවන් අනන්තය. ලොව පුරා විසිරී සිටින ක්‍රිකට්‌ ක්‍රීඩකයන් විසින් තබා තිබෙන අදාළ වාර්තාවන් අතරට ඉකුත් සතියේ සුවිශේෂී වාර්තාවක්‌ එක්‌ විය.

ලොව වේගවත්ම එක්‌දින ශතකය එම සුවිශේෂී වාර්තාව වේ. දකුණු අප්‍රිකානු එක්‌දින කණ්‌ඩායම් නායක ඒ. බී. ඩිවිලියර්ස්‌ කොදෙව් පිලට එල්ල කරන ලද දැවැන්ත ප්‍රහාරයත් සමග එම සුවිශේෂී වාර්තාවට හිමිකම් කියන ලද නවතමයා බවට පත්විය.

තරගයේ 39 වැනි පන්දුවාරයේදී දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරු රොසොව් ලකුණු 128 කට දැවී යැමත් සමග ඩිවිලියර්ස්‌ පිටියට පිවිසුණි. පන්දු යවන්නා වූ ජෙරම් ටේලර් ගේ පළමු පන්දුවට හතරේ පහරකින් සංග්‍රහ කරමින් සිය ලකුණු ලබා ගැනීම ආරම්භ කළ ඩිවිලියර්ස්‌ එම පන්දුවාරය ඉතිරි පන්දු දෙකේදී තවත් ලකුණු 3 ක්‌ උදුරා ගැනීමට සමත්විය.

මෑත කාලයේ සිට තරමක්‌ වේගයෙන් පන්දුවට පහරදීමේ රුචිකත්වයක්‌ දක්‌වන ලද පිතිකරුවකු බවට ඩිවිලියර්ස්‌ව හඳුන්වනු ලබයි. ඒ අනුව තමා මුහුණ දුන් පළමු පන්දු 3 තුළදී ලකුණු 07 ක්‌ රැස්‌ කරමින් පිතිකරණයට ප්‍රවේගකාරී ප්‍රවේශයක්‌ ලබා ගැනීමට ඩිවිලියර්ස්‌ සමත්වුවද ලොව අග්‍රගන්‍ය එක්‌දින ඉනිම සඳහා වූ ප්‍රවේශය එසේ ලබා ගත්තේ යෑයි ඩිවිලියර්ස්‌ හෝ නොසිතන්නට ඇත.

එහෙත් පන්දුවට පහර දීමේ දක්‍ෂතාව මෙන්ම කොදෙව් පන්දු යවන්නන්ගෙන් ලද 'තල්ලුවද' සමග තරගයේ 42 වැනි පන්දුවාරය වන විටම එහි පළමු අඩිතාලම දමා ගැනීමට ඩිවිලියර්ස්‌ට අවස්‌ථාව උදාවිය. 1995 වසරේදී පාකිස්‌තානයට එරෙහිව සනත් ජයසූරිය විසින් පන්දු 17 කදී රැස්‌ කරමින් පිහිටුවා තිබූ වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාව ඩිවිලියර්ස්‌ අතට පත්වූයේ පන්දු 16 ක්‌ තුළදී ක්‍රීඩා කිරීම නිසාය. එයට හයේ පහර 4 ක්‌ සහ හතරේ පහර 4 ක්‌ ඇතුළත් වී තිබිණ.

අර්ධ ශතකය සඳහා වැය කරන ලද පන්දු සංඛ්‍යාවම (පන්දු 16 ක්‌) සිය ශතකය කරා ගිය ගමනේදී වැය කළ ඩිවිලිර්යස්‌ තමා මුහුණ දුන් 32 වැනි පන්දුවේදී වසර 44 ක එක්‌දින ක්‍රිකට්‌ ඉතිහාසයේ වේගවත්ම ශතකය රැස්‌ කරන ලද පිතිකරුවා බවට අභිෂේක ලැබීය. නවසීලන්ත ක්‍රීඩක කොරේ ඇන්ඩර්සන් විසින් පන්දු 36 කදී රැස්‌ කරන ලද වේගවත්ම ශතකයේ වාර්තාව දෙවැනි තැනට පත්වෙමින් ඩිවිලියර්ස්‌ගේ ඉනිම ඉහලින් ලියෑවිණි. අදාළ ඉනිම ප්‍රධාන කොට ප්‍රතිවාදී කොදෙව් ක්‍රීඩකයන් පෙළ ගැසෙමින් ඩිවිලියර්ස්‌ට සුභ පැතූ අතර ඒ අතරට ලොව ප්‍රහාරාත්මක පිතිකරුවා ලෙසින් සැලකෙන ක්‍රිස්‌ ගේල් ද පසුවීම විශේෂත්වයක්‌ විය.

ඉන් නොනැවතුණු ඩිවිලියර්ස්‌, සිය ප්‍රහාරාත්මක ඉනිම දකුණු අප්‍රිකානු ඉනිමේ අවසන් පන්දුවාරය තෙක්‌ම දිග හරිනු ලැබීය. දකුණු අප්‍රිකානු ඉනිම නිමාවීමට පන්දු 2 ක්‌ ඉතිරිව තිබියදී රසල්ගේ පන්දුවක්‌ හමුවේ ඩිවිලියර්ස්‌ගේ ඉනිම නිමාව දකින විට හයේ පහර 16 ක්‌ සහ හතරේ පහර 9 ක්‌ සමගින් පන්දු 44 කදී ලකුණු 149 ක්‌ ලෙස සටහන් වී තිබිණ.

ඩිවිලියර්ස්‌ විසින් ක්‍රීඩා කරන ලද මෙම සුවිශේෂී ඉනිමෙන් දින කීපයකට පසු පාකිස්‌තානු ක්‍රීඩක සහිඩ් අෆ්රිඩි සඳහන් කර සිටියේ තමා කෙසේ හෝ මෙම වාර්තාව ලෝක කුසලාන තරගාවලියේදී බිඳ හෙළීමට උත්සාහ දරනු ලබන බවයි. එම සුවිශේෂී වාර්තාව තමා සතු කරගනිමින් අමරණීය මතකයක්‌ද සමගින් සිය එක්‌දින දිවියට සමුදීම තමාගේ බලාපොරොත්තුව බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

බැලූ බැල්මට පන්දු 32 කදී ශතකයක්‌ වාර්තා කිරීම යනු ඉතා අසීරු ක්‍රියාවකි. ඩිවිලියර්ස්‌ විසින් ක්‍රීඩා කරන ලද මෙම ඉනිම බොහෝ විචාරකයන් මෙම ඉනිම හඳුන්වනු ලැබුවේ කිසිදා බිඳහෙළිය නොහැකි වාර්තාවක්‌ ලෙසය. එහෙත් එදා පාකිස්‌තානු පිලේ බසීට්‌ අලී විසින් පන්දු 67 කදී රැස්‌ කරගෙන තිබූ වේගවත්ම ශතකය 1995 වසරේදී සනත් ජයසූරිය විසින් පන්දු 48 කදී බිඳ හෙළන ලද අවස්‌ථාවේදී බොහෝ දෙනා පවසා සිටියේද ජයසූරිය විසින් පිහිටුවන ලද වාර්තාව කිසිවෙකුටත් බිඳ හෙළිය නොහැකි බවයි.

එහෙත් ගෙවී ගිය වසර කීපයේදී ජයසූරියගේ ඉනිම අභිබවාලමින් ක්‍රීඩකයන් 7 දෙනෙකු ඉදිරියට පැමිණ තිබේ. එසේ ඉදිරියට පැමිණි ක්‍රීඩකයන් අතර සහිඩ් අෆ්රිඩිගේ නම ස්‌ථාන 2 කදී ලියෑවී තිබේ. ප්‍රථමයෙන්ම පන්දු 37 කදී එම දක්‍ෂතාව දැක්‌වූ අෆ්රිඩි නැවතත් පන්දු 45 කදී ශතකයක්‌ වාර්තා කිරීමට සමත්වූවේය. ඒ අනුව බලන විට ඩිවිලියර්ස්‌ගේ මේ අනගිභවනීය වාර්තාව කිසිවකුටත් බිඳ හෙළිය නොහැකි යෑයි කීම කොතෙකුත් දුරට සාධාරණද යන්න ඉදිරි කාලයේදී අපට දැක බලාගත හැකිය. බොහෝ දුරට එය මෙවර ලෝක කුසලාන තරගාවලියේදීම විය හැකිය.

Share this