සංඝරත්නයට නීති පැනෙව්වොත් පාර්ලිමේන්තුව වටලනවා

සංඝ කථිකාවතක් පැවැත්වීමට පෙර මහා සංඝරත්නයේ අනුමැතිය ලබා ගත යුතු බවත් ගිහියන් විසින් සංඝයා වහන්සේලාට සම්මුති පැනවිම යෝග්‍ය නොවන බවත් මහනායක ස්වාමීන් වහන්සේලාගේ ලිඛිත අනුමැතියකින් තොරව මහා සංඝරත්නයට නීති රීති පනවා ඊට අදාල පනත් සම්මත කළහොත් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ගිහි ජනතාව සහභාගි කරවාගෙන  පාර්ලිමේන්තුව වටලා දැඩි විරෝධයක් දක්වන බවත් රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති බෙංගමුවේ නාලක හිමියෝ පසුගිය 14 වැනිදා මහනුවරදී පැවසූහ.

ත්‍රස්තවාදය පරාජය කිරිම සඳහා දායක වු රණවිරුවන් ආරක්ෂා කරගැනිම වෙනුවෙන් යෝජිත අත්සන් දසලක්ෂයේ පෙත්සම පිළිබඳව මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් දැනුවත් කිරිම සඳහා බෙංගමුවේ නාලක සහ කොටුව ශ්‍රි සම්බුද්ධාලෝක මහ විහාරයේ විහාරාධිපති ඉත්තදෙමිළියේ ඉන්දසාර හිමිවරු අද (14) එහි ගිය අවස්ථාවේ මේ බව කීහ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාවෙන් බුදු දහම ආරක්ෂා කර එය පෝෂණය කළ යුතුය යන වගන්තිය තවදුරටත් සුරක්ෂිත විය යුතු බවත් සිංහල ජාතිය, බුදු දහම විනාශ කරන කටයුතු වෙනුවෙන් මහා සංඝරත්නය කිසිවිටකත් අනුමැතිය නොදෙන බවත් නාලක හිමියෝ පැවසූහ.

Share this