පුංචි ඡන්දය ගැන ශ්‍රීලනිපයේ මත ගැටුම්!

එළැඹෙන පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය සහ පවත්වන ආකාරය සම්බන්ධයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ අතර බලවත් මතභේද උද්ගතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ මැතිවරණය නව මැතිවරණ ක්‍රමයට අනුව පැවැත්විය යුතු බවට දැඩිව ප්‍රකාශ කරන අතර එක්සත් ජාතික පක්ෂයේ බහුතර කැමැත්ත වී ඇත්තේ පළාත් පාලන ඡන්දය සමානුපාතික නියෝජන ක්‍රමයට අනුව පැවැත්වීමටයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් පිරිසක් ප්‍රකාශ කරන්නේ මාර්තු මාසයට පෙර අනපේක්ෂිත දිනයක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කරනු ඇති බවයි. එහෙත් ඒ පක්ෂයේම තවත් පිරිසක් ප්‍රකාශ කොට ඇති මතය වන්නේ පවතින දේශපාලන තත්ත්වය සැලකිල්ලට ගෙන මැතිවරණය පැවැත්වීම මාස කිහිපයකින් ප්‍රමාද කිරීම පක්ෂයට හිතකර බවයි.

මීට අමතරව මැතිවරණයට ඉදිරිපත් වන්නේ සන්ධානයක් වශයෙන් ද, තනිවම ද යන කරුණ සම්බන්ධයෙනුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැඩි මතභේද උද්ගතව තිබේ.

පක්ෂයේ ප්‍රධාන නිලතල දරන ජ්‍යෙෂ්ඨයන් බහුතරයකගේ මතය වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනි පක්ෂයක් වශයෙන් එළැඹෙන මැතිවරණයේදී තරග කළ යුතු බවයි.

‍මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ පක්ෂයේ බහුතර පිරිසකගේ මතය වන්නේ පළාත් පාලන ඡන්දය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග කළ යුතු බව හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයට සක්‍රීයව නායකත්වය ලබා දිය යුතු බවයි.

Share this