''කොකා කෝලා'' සමාගමේ තවත් මගඩියක් එළියට!

"කොකාකෝලා " සමාගමට එරෙහිව නඩු පැවරීමට අවසර ඉල්ලා පස් වසරකට පෙර නීතීපතිට යැවූ ලිපි ගොණුව යට ගැසුවේ කවුද . . ?
මෙන්න ඇත්ත . . . 

නීතීපති දෙපාර්තමේන්තුවේ කල් ක්‍රියාව පිළිබඳව මේ දිනවල විවිධ දේශපාලනඥයන්ද , සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් ද නොයෙකුත් විවේචන එල්ල කරමින් සිටිනු පෙනේ. නමුත් අප මේ සඳහන් කරනුයේ දේශපාලනයකට කිසි ලෙසකින් හෝ සම්බන්ධතාවයක් නොමැති, පස් වසරක් තිස්සේ නීතීපති දෙපාර්තමේන්තුව විසින් යටගසා තිබෙන තවත් එක් ලිපි ගොණුවක් පිළිබදවය. ඊට අදාල කරුණු සැකෙවින් දක්වන්නේ නම් මෙසේය . 

කොකාකෝලා බෙවරේජර්ස් සමාගම විසින් තමාට වංචාවක් සිදුකර ඇතැයි පවසමින් කිසියම් පුද්ගලයකු විසින් කොකාකෝලා සමාගමෙන් රුපියල් මිලියන තුනක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා කොකා-කෝලා සමාගමට එරෙහිව 2008 වසරේ දී පොලිස් දෙපාර්තමේන්තුවේ වැල්ලවත්තේ පිහිටි වංචා විමර්ශන ඒකකයට පැමිණිල්ලක් සිදුකර ඇත.
(පැමිණිළි අංකය - IR 1966/2008 )

එම පැමිණිල්ල විමර්ෂණය කොට ඒ පිළිබඳව අධිකරණයටද කරුණු වාර්තා කිරීමෙන් පසු කොකාකෝලා සමාගමට එරෙහිව නඩු පැවරීම සඳහා වැල්ලවත්ත වංචා විමර්ශන ඒකකය විසින් නීතීපතිගේ උපදෙස් ඉල්ලා අදාල ලිපි ගොණුව නීතීපති දෙපාර්තමේන්තුවට යොමුකර ඇත්තේ වර්ෂ 2010 දීය. ලිපි ගොණුව බාරව සිටින්නේ අධිනීතීඥ ලක්මාලී කරුණානායක විසිනි.

( ලිපි ගොණුවේ අංකය - CR 02 / 15 / 10)

කොකා කෝලා සමාගමට එරෙහි විමර්ශන ලිපි ගොණුවේ ඉතාම පැහැදිලි නඩු නිමිත්තක් අන්තර්ගතව තිබෙන බවත් ඒ තුළ කොකාකෝලා සමාගමට එරෙහිව ප්‍රබල හා නිරවුල් සාක්ෂි ගොණුකොට ඇති හෙයින් එහි සම්පූර්ණ වාසිය පැමිණිලි පාර්ශ්වයට ලැබී ඇති බවත් පැවසෙන නමුදු කොකාකෝලා සමාගමට එරෙහිව නඩු පැවරීම සඳහා ගතවූ වසර 05 තුළ පොලීසිය වෙත නීතීපති උපදෙස් ලබා නොදීම නීතී අංශයන්හී ද කාගේත් විමතියට හේතූ වී ඇත.

මේ අතර නීතීපති දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරන්නේ කොකාකෝලා සමාගමේ නීතී කළමණාකාරිනිය වන ශිරෝමී කෝදාගොඩ විවාහ වී සිටින්නේ නීතීපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරයකු වන යසන්ත කෝදාගොඩ සමඟ බැවින් ගතවූ පස් වසරක කාලය තුළ අදාල ලිපි ගොණුවට අත්වූ සන්තෑසිය ඉදිරියේදීද නොවෙනස් වනු ඇති බවයි.

මේ පිළිබඳව අදහස් දක්වන ඇතැම් සිවිල් ක්‍රියාකාරීන් අවධාරණය කරනුයේ බිරින්දෑ ලාගේ කැමැත්ත - අකැමැත්ත විමසා නීතී උපදෙස් ලබාදෙන තරමටම වර්තමාන නීතීපති දෙපාර්තමේන්තුව පිරිහීමට ලක්ව තිබෙන බව මෙවැනි සත්‍ය සිදුවීම්වලින් මුළු රටටම සාක්ෂි සහිතවම හෙළිදරව් වන බවය.

ඉතාම පැහැදිලි නඩු නිමිත්තක් තිබියදීත් වසර 05 ක් ගතවන තුරු නීතීපති දෙපාර්තමේන්තුව විසින් කොකාකෝලා සමාගමට එරෙහිව නඩු පවරන ලෙස පොලීසියට උපදෙස් ලබා නොදීමේ තත්වය සලකා බැලීමේදී යසන්ත කෝදාගොඩ නීතීපති දෙපාර්තමේන්තුවේ සිටින තුරු ( CR 02 / 15 / 10 ) ලිපි ගොණුවට පමණක් නොව කොකාකෝලා සමාගමට විරුද්ධව සිදුකැරෙන වෙනත් විමර්ශන කටයුත්තක් සඳහා වුවද සාධාරණයක් ඉටු වේද යන්න බෙහෙවින්ම සැක සහිත බව නීතීපති දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වැඩි දුරටත් අනාවරණය වේ.
( කැළණි ගඟට විෂ මුසුවීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ද කොකාකෝලා සමාගමට එරෙහිව නීතීය නිවැරදි අයුරින් ක්‍රියාත්මක කොට නොමැති බවටද පසුගිය දිනවල පරිසර සංවිධාන මඟින් විවිධ කරුණු දක්වා තිබුණි. )

නීතීපති දෙපාර්තමේන්තුව යනු එක් එක් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරුන්ගේ පෙ‍ෟද්ගලික අවශ්‍යතා මත තීන්දු - තීරණ ගතහැකි ස්ථානයක් නොවන බවත් , මෙය වත්මන් නීතීපතිවරයා විසින් පමණක් නොව පසුගිය වසර 05 තුළම එහි සිටි සියළු නීතීපතිවරුන් විසින් වගකිව යුතු සිදුවීමක් බවත් නීතීපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කරයි.

(යහ පාලනයට දිරිදීමේ ජනතා ව්‍යාපාරය )
Source-egossip.lk

Share this