ලෝචනා ආයෙත් ලංකාවෙන් යයිද...?

පුංචි තිරයේ කටකාරිය නොහොත් ජනප්‍රිය රංගන ශිල්පිනී ලෝචනා ඉමාෂි, විවාහයෙන් පස්සේ විදෙස් ගත වුණා. ඒ ඇගේ සැමියා විදේශයක සේවය කරන නිසයි. ඉතින් කාලෙකට එන්න වෙන්නේ නැහැ කියපු ලෝචනා සැමියාගේම වැඩකට ආයිත් ලංකාවට ආ බව හැමෝම දන්න කතාවක්. ඔන්න ඉතින් එහෙම ආපු ලෝචනා ආයේ විදෙස් ගත වෙන්නේ නැහැ කියලා මේ දවස් වල වටෙන් ගොඩෙන් ඇසෙන කසු කුසුවක් අපේ කන වැකුණා. මේ ආරංචිය හැබෑවක්ද නැද්ද කියලා අපට දැන ගන්න වෙන්නේ ඇගෙන්ම තමයි.

ලෝචනා, දැන් ටිකක් මහත් වෙලා හැඩ වෙලා එහෙම ඉන්නේ?

ඔන්න ඔන්න පටන් ගන්න කොටම වැරද්ද ගත්තා. මං කොහේ මහත් වෙන්නද ...? ගෙදර අයත් කිවුවා මම හොඳටම කෙට්ටු වෙලා කියලා. නිකනුත් නෙමෙයි නොසෑහෙන්න කෙට්ටු වෙලාලු.

ඒ මහත්තයා ළඟ නැති දුකට වෙන්න ඇති ?

නෑ.. කට්ටියගෙන් අයින් වෙලා ගිය දුකට අනේ..

ඒ කිව්වේ?

ඉතින් මෙහෙන් ගියාට පස්සේ තමයි කෙට්ටු වුණේ. එහේ ඉඳිද්දි හොඳට සුදු නම් වුණා. මෙහේ අවාට පස්සේ ආයිත් කළු වෙලා.

මහත්තයා එක්ක කොක්කක් දාගෙන එහෙම නෙමෙයි නේද ආවේ?

ආපෝ නැහැ. කොක්ක කරේ තියාගෙන ආවේ. එයාගේම වැඩකට තමයි මං ආවේ. ඉතින් ඒ ආපු එකේ ඩ්‍රාමා එකකට දෙකකට සම්බන්ධ වෙලාම යන්නයි අදහස.

එහෙනම් මේ අපහු යන්නේ නැහැයි කියන ආරංචිය?

මොන බොරුද..? අනේ මන් දා ඇයි එහෙම කියන්නේ කියලා. ඇත්තටම මං නොයා කොහොමද, මන් මගේ හස්බන්ඩ් ළගට වෙලා එපැයි ඉන්න.

ඉතින් තව කී දවසක් දෙන්නා දෙපැත්තට වෙලා ඉන්නද කල්පනාව?

මේ දවස් වල ඔහු exam එකකට ලෑස්ති වෙනවා. මමත් නැති එකේ නිවි හැනහිල්ලේ පාඩම් කරන්න පුළුවන් නේ..ඉතින් විභාගේ ඉවර වුණාම එක්කෝ එයා මෙහේ ඇවිත් යයි නැත්නම් මං යනවා. ඔය මොනවා හරි දෙයක් වෙයි.

අර කිව්වත් වගේ දැන් කනක් ඇහිලා ඉන්නවා ඇති?

ඔව් ඔව්.ඒක නම් ඇත්ත. මං ඉඳිද්දි ඉතින් මොනවම හරි කියව ගත්තු ගමන් ඉන්නේ. එයාගේ කනටත් නිවනක් නැහැ. exam එකත් ළඟ නිසා දැන් ඉතින් නිස්කලංකව පාඩම් කරන්නේ නැතැ.

මහත්තයාගේ පළමු වැනි චිත්‍ර‍පටය ගැන නෝනට මොකද හිතෙන්නේ?

බොහොම හොඳයි. ඒ වගේ ආර්ට් ෆිල්ම් එකකට හොඳ ඩිරෙක්ට කෙනෙක් තෝරාගෙන නිෂ්පාදනයෙන් ඔහුගේ දායකත්වය සැපයීම ගැන සතුටුයි.

හොඳ ප්‍ර‍තිචාර ලැබෙන එකේ ළඟදිම අලුත් නිර්මාණෙකට සම්බන්ධ වෙයි වගේ?

ඒ ගැන නම් ඉදිරියේදීම තමයි බලන්න වෙන්නේ. තව දුරටත් ඒවාට සම්බන්ධ වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්.

ඉතින් නරකද නෝනයි මහත්තයයි එකතු වෙලා අලුත් නිර්මාණයක් කළොත්?

අපි අපේ වැඩ කර ගෙන ස්වාධීනව ඉන්නවා. ඉතින් අපේ වැඩවලදී දෙන්නාට දෙන්නා කැපවීමෙන් නම් ඉඳියි. එත් මම නම් හිතන්නේ නෑ ඔහුගේ ෆිල්ම් එකකට මාව ගනීයි කියලා. නිකනුත් කියන්නේ “අම්මෝ ඔයාව නම් ගන්නේ නෑ ෆිල්ම් වලට කියලයි“ අපි එක්ක ඉතින් වැඩ කරන්නත් අමරුයිනේ.

වැඩ කරන්න අමාරුයි කිව්වේ?

පිට වැඩ බාර ගත්තා වගේ නෙමෙයි තමන්ගේම අය එක්කනේ වැඩ කරන්න අමාරු. වැඩ වලදී දෙන්නටම දෙන්නාගේ සහය උපරිම ලැබුණත් අදහස් අතින් නම් නොගැළපීම් මතු වෙනවට වඩා හොඳයි වෙන නිළියක් ගන්න එක.

ලසන්තගේ වැඩකට කියලා මෙහේ ඇවිත් ආයිත් සුපුරුදු වැඩ ටික පටන් ගත්තා නේද?

ඔව්. ආව එකේ නිකන් ඉන්න හොඳ නැහැ නේ..ඒ නිසා අලුත් ටෙලි ඩ්‍රාමා එකක වැඩ පටන් අරගෙන මේ දවස් වල ෂූටින්. ඒ එක්කම මම රංගනයෙන් එකතු වුණු රෝහණ සමරදිවාකරගේ ‘මීදුමෙන් එහා‘ ටෙලි නාට්‍යයත් මේ දවස් වල ස්වර්ණවාහිණියෙන් විකාශය වෙනවා.

Share this