තාර පාරවල් දිය කරන තරමේ උෂ්ණත්වයෙන් ඉන්දියාවේ 1500කට අධික පිරිසක් මරුට

මේ දිනවල ඉන්දියාවේ පවතින සෙල්සියස් අංශක 48ක් තරම් වූ අධික උෂ්ණත්වය හේතුවෙන් මේවන විට පුද්ගලයන් 1500කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බවට වාර්තා වෙනවා. උණුසුම් වායු ධාරා, දියවුණු තාර, දූලි කුණාටු ආදිය ජනතාවගේ එදිනෙදා කටයුතු වලට දැඩි බලපෑම් එල්ල කරමින් පවතිනවා. නිවාස අහිමි පුද්ගලයන්, කම්කරුවන්, කුඩා ළදරුවන් , ළමුන්, සහ වයෝවෘද්ධ පුද්ගලයන් මේ කාලගුණයෙන් දැඩි අවදානමකට ලක්ව සිටිනවා. ආන්ද්‍රා ප්‍රදේශයෙන් වාර්තා වන සෙල්සියස් අංශක 47ක උෂ්ණත්වය නිසා පුද්ගලයන් 852 මරණයට පත්වී තිබෙනවා. ඒ අතර අසල්වැසි තෙලගනා ප්‍රාන්තයේ සෙල්සියස් අංශක 48ක උෂ්ණත්වය හේතුවෙන් පුද්ගලයන් 266දෙනෙක් මරණයට පත්ව තිබෙනවා.

රෝහල් ආරංචිමාර්ග වලට අනුව අධික උෂ්ණත්වයට ගොදුරු වූ රෝගීන් විජලනය, අධික විඩාව, උෂ්ණ ආබාධ ආදියෙන් පෙළෙනවා. ඔවුන්ට කඩිනමින් ප්‍රතිකාර කටයුතු සිදු කෙරෙමින් පවතිනවා. මේ අතර නිරන්තර විදුලි කප්පාදු කිරීම් වලට ද ජනතාවට මුහුණදීමට සිදු වී තිබෙනවා. ආපදා කළමනාකරණ අධිකාරියෙන් ජනතාවට උපදෙස් ලබා දී තිබෙන්නේ හැකි තරම් නිවෙස් තුලට වී සිටීමටත් , ලිහිල් ඇඳුම් භාවිතා කරන අතරම හැකි සෑම විටම ජලය පානය කිරීමටයි.

සාමාන්‍යයෙන් මාර්තු සහ ජූනි කාලය අතරතුර දකුණු ආසියාවේ මෙවැනි උෂ්ණ කාලගුණයක් පවතී. නමුත් මේ වසරේ කාලගුණික තත්වය දරුණු අතට පත්වීම නිසා තරමක් දීර්ග සහ අධික උෂ්ණත්ව තත්ත්ව වලට මුහුණ දීමට මේ කලාපයට සිදුවී ඇතැයි බලධාරීන් පවසයි. වැසි නොමැති වීමත් රාජස්ථාන් ප්‍රදේශයේ කාන්තාර වල උෂ්ණත්වයත් සුළං තත්වයත් හේතුවෙන් උෂ්ණත්වය ඉහල යාමට බලපා ඇති බව කාලගුණ විද්‍යාඥයන් පවසනවා.





Share this