වෙ‍ලේ සුදාට හිටපු ‍පොලිස්පතිවරයකුගේ උදව්

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ වෙ‍ලේ සුදා සම්බන්ධව කරන පරීක්ෂණයේදී එක්තරා පුද්ගලයකු විසින් හෙළි කරන ලද තොරතුරුවලට අනුව හිටපු ‍පොලිස්පතිවරයකුට දේපළ ත්‍යාග වශයෙන් ලබාදීමේ සිද්ධියක් හෙළිවී ඇතැයි සඳහන්  වේ.

වෙ‍ලේ සුදාගේ කුඩු ජාවාරම් සම්බන්ධව පුද්ගලයන් හයදෙනකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බවත් එහිදී එක් පුද්ගලයකු විසින් ප්‍රකාශ කර ඇත්තේ වෙ‍ලේ සුදාගේ කුඩු ජාවාරමේදී හිටපු ‍පොලිස්පතිවරයකු අතර දේපළ ගනුදෙනුවක් සිදුවූ බවය.මේ පිළිබඳව ඊයේ (22) පැවැති මාධ්‍ය හමුවකදී ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේ එම ගනුදෙනුව සිදුවූ ආකාරය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බවය.

මෙම පරීක්ෂණයේදී එය තහවුරු වුවහොත් හිටපු ‍පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීමටත් ඔහුගේ දේපළ රාජසන්තක කරන්නටත් හැකි බව සඳහන් කළේය.

එසේම ප්‍රශ්න කළ පුද්ගලයන් අතර කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේශපාලනඥයකුගේ පුද්ගලික ‍ලේකම්වරයකු ද සිටින බව සඳහන් වේ. එලෙස ඔහුගෙන් ප්‍රශ්න කර ඇත්තේ වෙ‍ලේ සුදා ඉහත කී දේශපාලනඥයා සමග ගනුදෙනු කළ බවට හෙළිවීම නිසාය.

වෙ‍ලේ සුදා හෙළි කළ තොරතුරුවලට අනුව ඉහත කී දේශපාලනඥයාට එක් අවස්ථාවක ලක්ෂ 25ක්ද තවත් වතාවක ලක්ෂ 20ක්ද තවත් වරෙක ලක්ෂ හයක්ද බැගින්ද විවිධ අවස්ථාවල මාසිකව ගෙවා ඇත.

දැනට මේ පිළිබඳව පරීක්ෂණ සිදුකරන බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

වෙ‍ලේ සුදා 1977 වසරේ ඉපදී ඇති අතර ඔහුගේ සහෝදරයා සහ පියා හෙරොයින් ජාවාරම ආරම්භයේ පටන් එම ජාවාරමේ යෙදී ඇත. පසුව වෙ‍ලේ සුදා මෙම ජාවාරම ආරම්භ කර ඇත්තේ 1993 වසරේ සිටය. මොහු 2009 වසරේදී වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරින්ට හෙරොයින් සමග කොටුවී ඇත. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන අධ්‍යක්ෂ ඩී.ආර්.එල්. රණවීර මහතා විසිනි. පසුව මොහු 2011 වසරේදී ඉන්දියාවට පලා ගොස් ඇත. ඒ මානගොඩ කම්කානම්ලාගේ සමන් ප්‍රදීප් යන නමිනි. එසේ පැන ගිය මොහු මෙරට හෙරොයින් ජාලයේ ප්‍රබලයකු වූ කිඹුලාඇළේ ගුණා සමග කටයුතු කර පසුව විජේසේකර ආරච්චිලාගේ සුනිමල් සංජීව යන ව්‍යාජ නමින් සිංගප්පූරුවට පලා ගොස් ඇත. ඉන් අනතුරුව පාකිස්තානයට පලා ගොස් ඇත.

එතැන් පටන් මොහු මෙරටට මහා පරිමාණයෙන් හෙරොයින් එවා ඇත. එසේ ආනයනය කරන හෙරොයින් විකිණීම භාරවී ඇත්තේ මරදාන සහ කොට්ටාව ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකුටය. ඔවුන් හෙරොයින් හරහා ලබාගත් මුදල් උන්ඩියල් ක්‍රමය හරහා පාකිස්තානයට යවා ඇත.

මොහු 2014 ඔක්තෝබර් මාසයේදී මෙරටට එවීමට තිබූ ට්‍රැක්ටර් තොගයක රෝදවල බහා හෙරොයින් ලංකාවට එවීමට සූදානම් වී සිට ඇත. එම රෝද තුළ රැගෙන ඒමට උත්සාහ ගත් හෙරොයින් තොගය කිලෝ 185ක් වන බවද සඳහන් වේ. මෙම හෙරොයින් තොගය එරට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට හසුවී ඇත. ඒ අනුව වෙ‍ලේ සුදා එම ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.
වෙ‍ලේ සුදාගේ කුඩු ජාවාරමට උප‍පොලිස් පරීක්ෂකවරු දෙදෙනකු හා සැරයන්වරයකු සම්බන්ධ බවට හෙළි වී ඇත. ඉන් උප ‍පොලිස් පරීක්ෂකවරයෙක් සහ සැරයන්වරයා විශ්‍රාම ගොස් ඇත.
එසේම වෙ‍ලේ සුදා විසින් පාකිස්තානයේ භාවිත කළ ගිණුම් සහ කේ‍රඩිට් කාඩ් සම්බන්ධවද පරීක්ෂණ ආරම්භ කර ඇත. 

Share this