සෝමවංශ තවදුරටත් තියාගන්න ජවිපෙ ප්‍රබල සටනක

සෝමවංශ අමරසිංහ මහතා පක්‍ෂයෙන් ඉවත්වීමට ගත් තීරණය සිය පක්‍ෂයේ අභ්‍යන්තර ගැටුමක් හෝ අර්බුදයක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි දේශපාලන මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අදාළ තීරණය සෝමවංශ අමරසිංහ මහතාගේ පෞද්ගලික තීරණයක් වන බවයි. අදාළ තීරණය ප‍්‍රකාශයට පත් කරන තුරු ඒ පිළිබද පක්‍ෂය දැනුවත්ව නොසිටි බවද අදාළ නිවේදනයේ සදහන්. එමෙන්ම සෝමවංශ අමරසිංහ මහතා පක්‍ෂයෙන් ඉවත්වීමට ගත් තීරණය හා එකඟ නොවන බවද එම තීරණය වෙනස් කර ගැනීම සදහා සාකච්ඡා කරමින් සිටින බවද එම නිවේදනයේ දැක්වෙනවා.

සෝමවංශ අමරසිංහ මහතා නැවත පක්‍ෂයට එක් කර ගැනීම සදහා උපරිමයෙන් කටයුතු කරන බවත් එය සාර්ථක වනු ඇතැයි අපේක්‍ෂා කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන්. තමන් ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වන බව සෝමවංශ අමරසිංහ මහතා මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කළේ ඊයේ දිනයේදීයි. 

කෙසේ වෙතත් සෝමවංශ අමරසිංහ මහතාගේ ඉවත් වීම සම්බන්ධයෙන් මෙතෙක් පක්‍ෂයට ලිපියක් ලැබී නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා නෙත් නිවුස් වෙත කියාසිටියා.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ විකල්ප කණ්ඩායමේ කැදවුම්කරු අනුරුද්ධ පොල්ගම්පල මහතා කියාසිටියේ සෝමවංශ අමරසිංහ මහතා ගත් තීරණය ජනතා විමුක්ති පෙරමුණ තුළ පැවති බෙදීම් හේතුවෙන් උද්ගත වූ තත්ත්වයක් බවයි. 

ජනතා විමුක්ති පෙරමුණ බටහිර න්‍යාය පත‍්‍රයට සහ ඉන්දියාවේ රෝ ඔත්තු සේවයේ න්‍යාය පත‍්‍රයට යටවී ඇති බවද අනුරුද්ධ පොල්ගම්පල මහතා මෙහිදී කියාසිටියා.

කෙසේවෙතත් ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කියාසිටියේ සෝමවංශ අමරසිංහ මහතා ගත් තීරණය ඔහුගේ පෞද්ගලික තීරණයක් මිස පක්‍ෂයේ බෙදීමක් නිසා සිදුවූවක් නොවන බවයි.

Share this