විශ්වාස කළ හැකි එකම විකල්පය ජවිපෙ පමණයි

මෙතෙක් කාලයක් රටේ බලයට පැමිනි නිල්පාට කොළපාට පාලකයන් මේ වනවිට ජනතා විශ්වාසය බිඳගෙන ඇති බවත් තමාට පෙනෙන එකම විශ්වාසවන්ත විකල්පය ජනතා විමුක්ති පෙරමුණ බවත් ප්‍රවීන රංගන ශිල්පිනී දිල්හානී ඒකකනායක මහත්මිය පවසයි.

ඇය මේ බව පවසා ති‍බුනේ සතිඅන්ත පුවත්පතක් සමග සිදු කර තිබූ සාකච්චාවක් අතරතුර මාධ්‍යවෙදියෙකු නැගූ ප්‍රශිනයකට පිළිතුරු ලබා දෙමිනි. එම උපුටාගත් කොටස පහතින් පළ වේ…

“සමාජ ක‍්‍රමයේ වෙනසක් පිළිබඳව ඔබ මීට පෙර ලබාදුන් පිළිතුරකදී සඳහන් කළා.. ඒ අදහසෙන් ඔබ මතු කරන්න උත්සාහ කළේ කුමක්ද ?

හොඳ රටක් හොඳ සමාජයක් හදාගන්න කියලා අපි සාම්ප‍්‍රදායික පක්ෂ වලට සහයෝගය දුන්නා. නමුත් ඔවුන් දවසින් දවස අපේ රට විනාශයටම අරන් ගියා. රටක් හදන්නෙත් විනාශ කරන්නෙත් දේශපාලනය විසින්. මෙච්චර කල් මේ රට හදලා නැහැ. කාලා තියෙන්නෙ. දේශපාලනය හම්බ කිරීමේ මාර්ග බවට පත් කරගෙන. සාම්ප‍්‍රදායික පක්ෂ අපේ විශ්වාසය බිඳ දාලා තියෙන්නෙ. අපිට දේශපාලන විකල්පයක් නැතිව හොඳ රටක්, හොඳ සමාජයක් ඇති කරගන්න බැහැ. හැමෝටම සාධාරණ ව ජීවත් වෙන්න පුළුවන් රටක් ඕන. සියළු පුරවැසියන්ට මේ රට අයිතියිනෙ. දැන් සුළු පිරිසක් රටේ දේවල් තමන්ගෙ පුද්ගලික බූදලේ වගේ බුක්ති විඳිනවා.
නමුත් රටේ සම්පත් සමාන ලෙස බෙදෙන, සමානාත්මතාවය පදනම් වූ ක‍්‍රමයකට අපි යන්න ඕනෙ.

අපි මෙතෙක් පැමිණි ගමනේ විශ්වාසය බොහෝ තැන්වලදී බිඳිලා තියෙනවා. විශ්වාසය තබන්න පුළුවන් අය නැහැ. මම කොළපාටට ඡන්දය දෙනකොට ඒ කට්ටිය පහුවදා අනික් පැත්තට ගිහින් ඉඳගන්නවා. මම නිල් පාටට ඡන්දය දෙනකොට ඒගොල්ලන් අනික් පැත්තට ගිහින් ඉඳගන්නවා. එතකොට මේගොල්ලන් මේ සෙල්ලම කරන්නෙ මහජනතාවගේ කැමැත්තත් එක්ක. ඔවුන් මහජනතාවගේ කැමැත්තට නින්දා කරලනේ තියෙන්නෙ. ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. එවැනි අය ගැන විශ්වාසය තවදුරටත් තබන්න බැහැ.




ඒ නිසා මට පෙනෙන විකල්පය අනුව මම ජේවීපී එක යන ගමනට කැමතියි. ඔවුන් තුළ යම්කිසි ප‍්‍රතිපත්තියක් තිබෙනවා, වැඩපිළිවෙළක් තියෙනවා, ඉලක්කයක් තියෙනවා. ඒ නිසා මම හිතනවා අපිට ඔවුන් ගැන විශ්වාසයක් තැබිය හැකියි. මොකද ඔවුන් පෞද්ගලික වාසි වෙනුවෙන් ක‍්‍රියා කරන කණ්ඩායමක් නෙමෙයි. මම හරි කැමතියි ඒගොල්ලන්ගෙ පක්ෂයේ තිබෙන විනයට. දැන් බලන්නකෝ අනිත් පක්ෂ.දහ දෙනෙක් ගත්තොත් කියන්නෙ අදහස් දහයක්.




එතකොට කොයි එකද මිනිස්සු තෝරා ගන්නෙ. පක්ෂයක් හැටියට එක අරමුනක සහ ඉලක්කයක නැත්නම් මහජනතාව කොහොමද ඒගොල්ලන් එක්ක මේ ගමන යන්නෙ. ඒ නිසා මම හිතනවා මගේ විකල්පයේ හැටියට මම අනාගතයේදී එතන ඉඳීවි. හැබැයි ඔවුන් ගැනත් විවේචන මට දවසක එන්න පුළුවන්. නමුත් ඔවුන්ට ඒ විවේචන කරන්න පුළුවන්. මොකද ඒගොල්ලන් විවේචන වලට විවෘතයි. එතකොට අපිට ගණුදෙනු කරන්න පහසුයි. ඒ නිසා මම හිතනවා බොහෝ ප‍්‍රශ්න වලට විසඳුම් අනාගතයේදී එතනින් සොයා ගැනීමට හැකි වේවි කියලා.”

Share this