සතොසට පොලු තැබූ හිටපු ඇමැති ජොනීගේ ලේකම් යළි රිමාන්ඩ්

මුදල් නැවත ගෙවීමේ පදනම යටතේ සතොස ආයතනයෙන් රුපියල් මිලියන පහක භාණ්ඩ ලබාගත් හිටපු සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සම්බන්ධීකරණ ලේකම් මැයි මස 11 දින තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා විසින් ඊයේ (27) නියෝග කරන ලදී.

සීමාසහිත සමුපකාර තොග වෙළෙඳ ආයතනයෙන් නැවත මුදල් ගෙවීමේ පදනම යටතේ රුපියල්මිලියන පහක භාණ්ඩ ලබාගෙන එම මුදල් නොගෙව්වා යැයි හිටපු සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා යැයි කියනු ලබන කුරුණෑගල තෙලියගොන්නෙ ටී.එම්.එම්. සකීර් නැමති අය මේ නඩුවෙන් චෝදනා ලැබ සිටියේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රනිල් සමරසූරිය මහතා සැකකරු මුදල් ගෙවා තිබෙන බැවින් සුදුසුයැයි හැඟෙන ඇපකරයක් මත මුදාහරින ලෙස ඉල්ලා සිටියත් පොලිස් පරීක්ෂණ තවදුරටත් කෙරීගෙන යන බැවින් විත්තියේ නීතිඥවරයාගේ ඇප ඉල්ලුම්පත ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු ත‍වදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙසට නියෝග කළේය.

Share this