හිටපු ජනපතිනියට හූ කියයි

කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ ශ්‍රවණාගාරයේදී අද (09 දා) කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රී.ල.නි.ප. බළ මණ්ඩල සහභාගී වූ ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට රැස්වීමට පැමිණ සිටි විශාල පිරිසක් පරුෂ වචනයෙන් බැණවදිමින්, හූ කියමින් අප්‍රසාදය පළකළහ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.

බළ මණ්ඩල රැස්වීම ආරම්භයේදී පොල්තෙල් පහන පත්තු කිරීම සඳහා හිටපු ජනාධිපතිනියට ආරාධනා කළ අවස්ථාවේදී ඇයට එරෙහිව මුලින්ම හූ හඬ නැගිණි. රුස්වීම පැය තුනකට ආසන්න කාලයක් පැවැති අතර එය අවසන් වී ශාලාවෙන් පිටව යන අවස්ථාවේදී කුමාරතුංග මහත්මිය එල්ල කරමින් යළි හූ හඬක් පැතිර ගියේය. එම හූවත් සමගම ශාලාවෙන් එළියට යමින් සිටි කුමාරතුංග මහත්මිය වට කරගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් ඇයට තදබල ලෙස දොස් නැගූහ.

"අපේ නියම නායකයා මහින්ද රාජපක්ෂ. යන යන තැන මහින්ද රාජපක්ෂ මැතිතුමා විවේචනය කරන්න. ඔබ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරන්නෙ. විශ්‍රාම ගියානම් පක්ෂය විනාශ නොකර ගෙදරට වෙලා ඉන්න" යැයි ඔවුහු පවසා සිටියහ. ඒ අතරතුර ශාලාවේ සිටි පිරිස අතරින් ඇයට අසභ්‍ය වචනවලින්ද බැණවැදීමක්ද සිදුකෙරිණි.

එම පිරිසගේ චෝදනා කිසිවකට කුමාරතුංග මහත්මිය පිළිතුරු නොදුන් අතර, ඇගේ ආරක්ෂකයන් විසින් වහා ඇයට ආරක්ෂා සහිතව එම ස්ථානයෙන් ඉවත් කරගෙන යනු දක්නට ලැබුණි.

Share this