සරණට ඇප

යකඩ තොගයක්‌ ලබාදෙන බවට පවසා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්‌ෂ 96 ක්‌ වංචා සහගතව ලබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්‌ෂිත බන්ධනාගාර ගත කරන සිටින හිටපු ඛණිජ තෙල් නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන රුපියල් ලක්‌ෂ පනහක්‌ වටිනා ශරීර ඇපයකට යටත් කොට දැඩි කොන්දේසි සහිතව මුදා හරින ලෙස අත්තනගල්ල මහෙස්‌ත්‍රාත් කාවින්ද්‍යා නානායක්‌කාර මෙනවිය ඊයේ (30 දා) නියෝග කළාය.

සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්‌ථාවේදී ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගෙන මහෙස්‌ත්‍රාත්වරිය එසේ නියෝග කළාය.

රුපියල් ලක්‌ෂ දහය බැගින් සත්දෙනකු ඇපවිය යුතු බවත් ඇපකරුවන්ගෙන් දෙදෙනකු සැකකරුගේ සමීප ඥතීන් විය යුතු බවත්, සෙසු අය රජයේ සේවකයන් විය යුතු බවත්, සෑම ඇපකරුවකුම වත්කම් ප්‍රකාශන ඉදිරිපත් කළ යුතු බවත්, විදේශ ගමන් බලපත්‍ර අධිකරණය භාරයේ තැබිය යුතු බවත් සැකකරු මාසයේ සෑම අවසන් ඉරිදා දිනකම අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ වංචා විමර්ශන අංශයේ පෙනී සිටිය යුතු බවත් මහෙස්‌ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළාය. 

යකඩ තොගයක්‌ ලබාදෙන බවට පොරොන්දු වී රුපියල් ලක්‌ෂ අනූහයක (96) මුදලක්‌ පුද්ගලික ව්‍යාපාරිකයෙකුගෙන් ලබාගෙන වංචා කළ බවට චෝදනාව මත අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ වංචා විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන රක්‌ෂිත බන්ධනාගාරගත කර අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරුට ඉහත සඳහන් දැඩි කොන්දේසි මත ඇප නියම විය. නඩුව ලබන ජුලි 27 දා යළි කැඳවීමට නියමිතය.

Share this