වැලන්ටයින්දා සීගිරි කැටපත් පවුර කෙළෙසූ සින්නතම්බි උදේනි අවුරුදු දෙකකට හිරේට

සීගිරිය කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් අකුරු ලියු තරුණියට දඹුල්ල මහේස්ත‍්‍රාත් හා දිසා විනිසුරු සංජීව රම්‍යකුමාර මහතා ඊයේ (02) වසර දෙකක සිර දඬුවමක් නියම කළේය. මෙ‍සේ සිර දඬුවම් නියම වුයේ මඩකළපුව සිත්තන්ඩිහි පදිංචි පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවිකාවක වූ සින්නතම්බි උදේනි නමැත්තියකටයි.

සිය ‍සේවා ස්ථානයේ පිරිසක් සමඟ සීගිරි නැරඹීමට පැමිණි මෙම තරුණිය සීගිරි කැටපත් පවුරේ සිය කොණ්ඩා කටුවෙන් ”තෑන්ක් උදයා’ යනුවෙන් ඉංග‍්‍රීසි භාෂාවෙන් ලියා කැටපත් පවුරට හානිකර තිබිණි.

පසුව පුරාවිද්‍යා ආරක්ෂක නිලධාරින් මෙම තරුණිය අල්ලා සීගිරිය පොලිසියට භාරදීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කර සීගිරිය පොලිසියෙන් නඩුව මෙහෙය විය.

පසුගිය නඩු වාරයේ දී දඹුල්ල වැඩ බලන මහේස්ත‍්‍රාත් ජයම්පති රත්නදිවාකර මහතා තරුණිය රිමාන්ඞ් භාරයට පත් කරමින් කැටපත් පවුරට සිදුව ඇති හානිය යථා තත්ත්වයට පත් කළ හැකිද යන්න පුරාවිද්‍යා වාර්තාවක් කැඳවීමට නියෝග කර තිබිණි.

එම නියෝගය අනුව පුරාවිද්‍යා වාර්තාව (02) දින අධිකරණයට ලැබී තිබිණි. එහි සඳහන්ව තිබී ඇත්තේ නැවත යථා තත්ත්වයට පත්කළ නොහැකි බවයි. ඒ අනුව වරද පිළිගත් තරුණියට වසර දෙකක සිර දඬුවම් නියම කෙරිණි. සීගිරිය පොලිසිය නඩුව මෙහෙයවිය.

අදාළ තරුණිය විසින් කැටපත් පවුරට හානි සිදු කර තිබූ ආකාරය

Share this