සිනමාවට ආලෝකය උදාකරන ආලොකෝ උදපාදි

ක්‍රිස්‌තුපූර්ව 89 දී දොළොස්‌ අවුරුද්දක්‌ මුළුල්ලේ නොකඩවා මුහුණ දුන් දැඩි නියඟයත් දෙස්‌ විදෙස්‌ සතුරු ආක්‍රමණිකයන්ගේ තර්ජනත් නිසා වළගම්බා රජුට සිදුවූයේ අභියෝග රැසකට මුහුණදීමටය. පරසතුරු උවදුර මෙන්ම සාගතයෙන්ද පීඩා විඳි ජනතාව අතර භික්‌ෂූන් වහන්සේද සිටියහ. බුදු දහම මුඛ පරම්රපාවෙන් රැකගෙන ආ භික්‌ෂූන් වහන්සේ හමුවේ බුදු දහම ආරක්‌ෂාකර ගැනීමේ අභියෝගය විය.

එය අඳුරු යුගයකි. රාජ පාක්‌ෂිකයෝ රජතුමා රැකගත්හ. බලයට ධනයට ලොල් වූ සතුරු නායකයෝ ඔවුනොවුන් මරා ගත්හ. මාරාන්තික සටන් වැද රජතුමා රාජ්‍ය පාලනය රැකගත්තේය.

මුඛ පරම්පරාවෙන් රැකගෙන ආ බුද්ධධර්මය ග්‍රන්ථාරූඪ කිරීමට භික්‌ෂූන් වහන්සේලා තීරණය කළහ. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ වූයේ එසේය.

මේ ඓතිහාසික කතා පුවත සිනමා කාව්‍යයක්‌ ලෙසින් රිදී තිරයේ දිග හැරෙන කාලය අත ළඟය. චිත්‍රපටයේ වැඩ බොහෝ දුරට අවසන්ය. "ආලෝකෝ උදපාදි" නමින් මේ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරනුයේ තරුණයකු විසිනි. හේ චත්‍ර වීරමන්ය. ඔහු ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ සමන් වීරමන්ගෙ පුත්‍රයායි. තම පුතුගේ කුල්ඳුල් සිනමා කෘතියේ තිරරචකයා මෙන්ම උපදේශක අධ්‍යක්‍ෂවරයා වන්නේද නීතිඥ සමන් වීරමන්ය.

භාරත ගිහාන් හෙට්‌ටිආරච්චි "ආලෝකෝ උදපාදි සම අධ්‍යක්‍ෂවරයාය. තුසිත විජයසේන "ආලෝකෝ උදපාදි" නිෂ්පාදකවරයාය. අනාගත පරපුරේ ආධ්‍යාත්මික සහ සංස්‌කෘතික වර්ධනය පිණිස මහඟු ආයෝජනයක්‌ කරන තුසිත කැන්ඩි සිටි සෙන්ටර් අධිපතිවරයාය.

මේ මහා කාව්‍යමය කථාවේ ප්‍රස්‌තූතය වන්නේ ශ්‍රී ලංකා යුද්ධයෙන් සහ සාගතයෙන් ගිනිගෙන පැවැති සමයකදී සම්බුදු හිමියන්ගේ ශාසනය ග්‍රන්ථාරූඪ කළ ශ්‍රී ලාංකික බෞද්ධ සංඝ පරම්පරාවේ පුවතයි.

මේ සිද්ධිය සිදුවූයේ මීට වසර 2100 කට පෙර ශ්‍රී ලංකාවේ වළගම්බා රජතුමාගේ රාජ්‍ය කාලයේදී සම්බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 454 කට පසුවයි. පරම්පරා 38 ක්‌ මුළුල්ලේ අත්‍යන්තයෙන්ම කැපවූ බෞද්ධ භික්‍ෂූන් වහන්සේ විසින් බුද්ධ ධර්මය මුඛ පරම්පරාවෙන් පරපුරෙන් පරපුරට ගෙනෙන ලදී. ඒ මොහොත වනතෙක්‌ම අධිෂ්ඨාන පූර්වකව භික්‌ෂූන් වහන්සේ මේ සඳහා කැපවී සිටියහ.

උද්දික ප්‍රේමරත්න වළගම්බා රජු ලෙසත්, දිල්හානි ඒකනායක අනුලා බිසව සහ නිරෝෂා තලගල සෝමා දේවිය ලෙසත් රඟති. රොෂාන් රවීන්ද්‍ර තීය තවුසාය. මේනකා පීරිස්‌ තීය බැමිණියය. ඊට අමතරව බුද්ධදාස විතානාච්චි, නිහාල් ප්‍රනාන්දු, කපිල සිගේරා, ක්‌ලිටස්‌ මෙන්ඩිස්‌, ඩබ්ලිව් ජයසිරි, ජනක්‌ ප්‍රේමලාල්, ඩග්ලස්‌ රණසිංහ, සමන්ති ලැනරෝල්, නෙතලි නානායක්‌කාර ඇතුළු ශිල්පීහු රැසක්‌ රඟති. සංගීතය මිලින්ද තෙන්නකෝන්ය. ශාන් අල්විස්‌ සංස්‌කරණයෙන්ද, ජයන්ත රණවක වේෂ නිරූපණය හා කොණ්‌ඩ සැරසිලිවලින්ද, කුමාර කරන්දෙනිය ඇඳුම් නිර්මාණයෙන්ද දායක වෙති. ගීත රචනා පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිය. ගී ගායනා විශාරද අමරසිරි පීරිස්‌ සහ සමන්ත පෙරේරාය. කැමරා අධ්‍යක්‍ෂණය ප්‍රභාත් රොෂාන්ගෙනි.



Share this