11 වියෑති දැරියගේ ගබ්සාවට අධිකරණ අවසරය පතයි

වැඩිමහල් සොයුරියගේ සැමියා අතින් දූෂණයට ලක්‌ව ගැබිනියක වී සිටින නොවැඩුණු 11 හැවිරිදි දැරියකගේ ජීවිත අවදානම් තත්ත්වය සලකා ඇය ගබ්සාවට ලක්‌කිරීම සඳහා නාවලපිටිය දිස්‌ත්‍රික්‌ මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි කේ. එම්. මහසෙන් මහතා හැටන් මහෙස්‌ත්‍රාත්වරයාගෙන් අවසර ඉල්ලා ඇත.

මෙරට නීතිය අනුව ගබ්සාව තහනම් අතර මෙවැනි විශේෂිත හේතුවක්‌ අනුව එවැනි අවස්‌ථාවන්හි අනුගමනය කළයුතු ක්‍රියා පටිපාටිය අනුව මෙම දැරියගේ ගබ්සා කිරීම සඳහා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකුගේ හා මානසික වෛද්‍යවරුන් දෙදෙනකුගේ අනුමැතිය හා අධිකරණ අවසරය මෙලෙස ඉල්ලා ඇත.

මෙම දැරිය වැඩිමහල් සොයුරියගේ සැමියා අතින් මෙසේ ගැබ්ගෙන ඇතැයි පොලිසිය සිදුකළ පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.

ඊට පෙරද දැරිය ප්‍රදේශයේ තරුණයකු අතින් අතවරයට ලක්‌ව ඇතැයි අනාවරණය වී ඇත.

කෙසේ නමුත් තුන්මස්‌ ගැබිනියක්‌ වූ ඇය දික්‌ඔය රෝහලෙන් නාවලපිටිය රෝහලට එවා ඇති අතර එහිදී ඇය දරුවකු ප්‍රසූත කිරීමට තරම් ශරීරය නොවැඩුණු කෙනෙකු බවත් ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ඇති බවත් නිගමනය වීම නිසා මෙසේ ගබ්සාවට තීරණය වී ඇත.

ඒ අනුව දැරිය නාවලපිටිය රෝහලෙන් මහනුවර මහ රෝහල වෙත යවා තිබේ.

Share this